විධාන මාධ්‍ය භාවිතය තුළ මැතිවරණ ප්‍රචාරය.
පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය, හා සම්මිශ්‍රිත අන්‍ය මාධ්‍ය ජාලයකින් වටවූ ලෝකයක ඒ ඒ මාධ්‍යයන් මගින් විහිදෙන සන්නිවේදනය කෙරෙන දේශපාලන චර්යා බොහෝ දෑ උගත හැකිය. අපමණ සාධක හඳුනා ගත හැකිය. අපමණ බලපෑම් පෙරළා මාධ්‍ය මගින්ම සමාජයට යොමු විය හැකි බවත් එසේ යොමුවීමෙන් සිදුවිය හැකි අර්ථය හෝ අනර්ථය දැන ගැනීමටත් හැකියාව ලැබේ. දේශපාලකයන් වශයෙන් සම්පූර්ණ කාලය කැප කර සිටින පිරිසක් සෑම රටකම පාහේ දැකගැනීමට හැකිය. ඒ උදවියගේ කතාබහ, වෘත්තිමය ප්‍රවණතා, සංවර්ධන කටයුතු, මෙහෙයුම් නව සැලසුම් යනාදි දහසක් කරුණු විදහා දැක්වීමට අනේක විධ මාධ්‍ය භාවිතයට ගැනීම සිදුවේ. අපගේ මේ කටයුත්ත ඉටු කෙරෙන්නේ මේ ආකාරයෙන් බව මහජනතාව දැන ගත යුතුය යන පැහැදිලි වූත් පවිත්‍ර වූත් චේතනාවෙන් යුක්තව මාධ්‍ය භාවිතයට ගැනීම දුරාතීතයේ සිටම සිදු කෙරුණකි.
ඓතිහාසික පර්යාලෝකයකින් බලන කල බොහෝ නරපතීන් සහ දේශමාමකයින් තම කාර්යභාරය ජනතා හිතසුව සඳහා භාවිතයට ගැනීමේදී ඔවුන්ට ජනතාවට සමීප විය හැකි මාධ්‍ය ජාලයක් උපයෝගී කරගත් බවක් පෙනී යයි. ග්‍රීසියේ පැරණිතම නරපතීන් තම සමාජ මෙහෙවර ඉදිරියට ගෙනයාම සඳහා “හඬ දූත” මෙහෙවර හා ලියා සටහන් කිරීම් සිදුකර ඇති බව පෙන්නුම් කෙරේ. මැරතන් යන්නද බිහිවූයේ මේ ආකාරයටය. පසුව රෝමයේ දේශපාලකයන් තම රාජ්‍ය ලේඛන ජනතාව වෙත ගෙනයාමට බිත්ති පත්තර හා ගැසට් නැමැති පත්‍රිකා ක්‍රමය උපයෝගී කරගත් බව පෙනේ. මෙලෙසින්ම කුඩා කණ්ඩායම් අතරට ගොස් ඔවුන් දැනුවත් කොට පෙරලා ඒම කණ්ඩායම් වල සිටි ජනමත නායකයින්ගේ උපකාරය අපේක්ෂා කරගත් බවක්ද පෙනේ. මෙසේ විවිධාකාර මාධ්‍ය කෙමෙන් පරිණාමයට පත්විය. ප්‍රාචීනවාදී අපට භාණ්ඩ සම්ප්‍රදාය නමින් සන්නිවේදන මාර්ගයක් තිබූ බවත් එහිලා භාෂණය, ලේඛණය, රූපණය, ප්‍රතිලේඛණය, සන්දේශනය, සන්දේශ හා රජය වැනි කටයුතු ආගන්තු නොවූ බවක් පෙනේ.
සන්නිවේදන නාලිකාවක් ලෙස මාධ්‍යය දේශපාලන ප්‍රභූන් සහ ජනතාව අතර ප්‍රබල භූමිකාවක නිරත වෙයි. එහිදී ජනමතය හැඩ ගැස්වීමේ ඉන්ද්‍රජාලික හැකියාවක් මාධ්‍ය සතුව පවතී. ඔස්ටින් රනේ දක්වන ආකාරයට බහුතර ජනතාවගේ මූලික සංස්ථාපන මෙන්ම නිශ්චිත මත හැඩගැස්වීමෙහි ලා මාධ්‍ය ඍජුව මැදිහත් වේ. මාධ්‍ය සතුව පවතින මෙම හැකියාව වර්තමාන දේශපාලනය නව ඉසව්වකට තල්ලු කොට ඇත.දේශපාලනය මාධ්‍යකරණය වීම නමින් එම නව ඉසව්ව නම් කළ හැකිය. 1960 දශකයේ යුරෝපයේ ආරම්භ වූ මෙම පැරඩයිම වෙනස තුළ ජනතා කේන්ද්‍රිය ජනසේවා මාධ්‍ය භාවිතයෙන් වෙළඳපොළ අරමුණු කේන්ද්‍රීය මාධ්‍ය භාවිතයන් බවට පරිවර්තනය විය. වර්තමානය වන විට ලෝක ගෝලයම මාධ්‍ය තුළ සිදු වූ මෙම පැරඩයිම විස්ථාපනය නිසා නිර්මාණය වන අත්දැකීම් වලින් යුක්තය. එහිදී සමාජය හා තනි පුද්ගලයා තීන්දු ගන්නෙක්, තෝරන්නෙක්, සිතන්නෙක් ලෙස නොව අවනත වන්නෙක් ලෙසට මාධ්‍ය විසින් පෙරළා ඇත. එහිදී වර්තමාන මාධ්‍ය හැඳින්විය යුත්තේ ජනමාධ්‍ය යනුවෙන් නොව විධාන මාධ්‍ය යනුවෙනි. මන්ද මාධ්‍යයේ අණසකට හෝ විධානයට බහුජනයා ප්‍රබල ලෙස අවනත වී ඇති බැවිනි.
No comments:
Post a Comment