Sunday, June 24, 2018

2014 ඉන්දීය මහ මැතිවරණය


  2014 අප්‍රේල් 07 දා සිට මැයි 12දා දක්වා අදියර නවයකින් පැවැත්වූයේ ඉන්දියාවේ 16වන පාර්ලිමේන්තු මැතිවරණයයි. ලෝක් සභා නමින් හැඳින්වෙන ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන ගණන 543කි. ඒ වෙනුවෙන් කෝටි 81.45ක් ජනයා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබුණි.මැතිවරණ දෙපාර්තුමේන්තුවේ තක්සේරු අනුව ආරක්ෂක වියදම් හා දේශපාලන පක්ෂ විසින් දරනු ලබන වියදම් හැර ඉන්දීය මහ මැතිවරණය සඳහා වැය වූ මුදල, ඉන්දීය රුපියල් කෝටි 3500ක් හෙවත් බිලියන 35කි. ඉන්දීය මාධ්‍ය අධ්‍යයන මධ්‍යස්ථානය තක්සේරු කර තිබෙන ආකාරය අනුව දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් විසින් දැරූු වියදම ඉන්දියානු රුපියල්, බිලියන 305ක් හෙවත් කෝටි 30.500කි. මැතිවරණය කඩින් කඩ පැවතියත් ප්‍රතිඵල නිකුත් වූයේ එක ම දිනයකය. ඒ මැයි 16වෙනිදාය.මැතිවරණයේ ප්‍රධාන තරඟය තිබුණේ රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය ජාතික කොංග්‍රසය හා නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂයයි. දිනන පක්ෂය කුමක් වුවත් ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය ආසන 272 තනිව ලබා ගැනීම දුෂ්කර ය. එහෙයින් වෙනත් පක්ෂ සමඟ සන්ධාන ගත වීමට අනිවාර්යයෙන් ම සිදු විය. 
   මෙම මහා මැතිවරණයේ ඉදිරියෙන් සිටින පක්ෂය වූයේ භාරතීය ජනතා පක්ෂයයි. එහි මැතිවරණ කමිටුවේ සභාපති වන ගුජරාට මහ ඇමති නරේන්ද්‍ර මෝඩි අනාගතයේ ඇමති ධුරයට පත් වීමට බොහෝ දුරට ඉඩ ඇති කෙනෙක් බව ජනතා විශ්වාසය විය. ඔහු 2013 වසරේ රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී තමන් හින්දු ජාතිකවාදියකු ලෙස හැඳින්වී ය. එහෙත් භාරතීය ජනතා පක්ෂයේ පරමාදර්ශී රාජ්‍යය වන රාමගේ ජන්ම භූමියට වඩා මේ මොහොතේ වැදගත් වන්නේ සංවර්ධනය නිසා වෙනත් පක්ෂ සමඟ සන්ධාන ගත වීමේ වැදගත්කම ඔහු ඉස්මතු කර දැක්වී ය.නරේන්ද්‍ර මෝඩි මෙවර ආසන දෙකකට තරඟ කළේය. ඉන් එකක් බරනැස වන අතර එහිදී ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ දූෂණ විරෝධී රැඩිකල් නායකයකු වන අර්වින්ද් කෙජ්රිවා ය.පොදු ජන පක්ෂයේ නායකයා වන ඔහු දිල්ලියේ හිටපු මහ ඇමතිවරයා ය. පොදු ජන පක්ෂය හෙවත් ආම් ආද්මි පක්ෂය ආසන 400කට තරඟ කළේය.සම්ප්‍රදායිකව වාමාංශික පක්ෂ විසින් අත් පත් කරගෙන සිටි ස්ථානය මෙවර හිමි කරගෙන සිටින්නේ එම පක්ෂය විසිනි.  ඉන්දීය ජාතික කොංග්‍රසයේ ඇමැති අපේක්ෂක ලෙස නම් කර තිබෙන්නේ රාහුල් ගාන්ධි ය. ඉන්දීය ජාතික කොංග්‍රසය මෙම මැතිවරණය තරඟ කරන්නේ එක්සත් ප්‍රගතිශීලි සන්ධානය සමඟයි.භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් නිර්මානය කර තිබෙන සන්ධානය වන්නේ ජාතික ප්‍රජාතාන්ත්‍රිකවාදී සන්ධානයයි.
මෙම මැතිවරණයේ අපේක්ෂකයන්ගෙන් 20%ක් පමණ ජනවාර්ගික හා ආගමික හිංසන ,මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් ,පුද්ගලයන් පැහැරගෙන යාම් වැනි අපරාධ චෝදනාවට ලක් වූ අයයි. අනාගත අගමැති බවට පත් විය හැකි නරේන්ද්‍ර මෝඩි පවා 2002 වසරේ ගුජරාටයේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අයෙකි. එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් දහසක් පමණ ජනයා මිය ගිය හ.ඉන්දීය මැතිවරණයේදී මෙවර ඉලෙක්ට්‍රොනික ඡන්ද මැෂින් මිලියන 1.2ක් භාවිතා විය.. 
ඉන්දියාව ලොව විශාලම ප්‍රජාතාන්ත්‍රවාදී රාජ්‍යය ලෙස සැලකෙන්නේ ලොව වැඩිම ඡුන්දදායකයන් සංඛ්‍යාවක් සිටින රට එය වන හෙයිනි. එහි මිලියන 815ට ආසන්න පුද්ගල සංඛ්‍යාවක් 2014 මහමැතිවරණයේ දී ඡුන්දය ප්‍රකාශ කළේය. ඉන්දියාවේ සමස්ත ජනගහනය බිලියන 1.2 ඉක්මවයි. බීබීසී වාර්තා කරන පරිදි මේ වනාහි ලොව විශාලම මැතිවරණයයි.

මැතිවරණයට පසු

මෙම ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක් හිමි විය.ලෝක් සභාවේ සමස්ත ආසන 543 න් ආසන 331ක ම ජය හිමි වූයේ, භාරතීය ජනතා පක්ෂයට ය.ඉන්දියාවේ ව්‍යවස්ථාව අනුව රජයක් පිහිටුවීම සඳහා දිනාගත යුතු ආසන සංඛ්‍යාව 272කි.ඒ අනුව, භාරතීය ජනතා පක්ෂයට නව රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය ආසන සංඛ්‍යාව හිමිව තිබේ.පාලක ඉන්දීය කොංග්‍රස් පක්ෂයට හිමිව ඇත්තේ, ආසන 62ක ජය පමණි.වෙනත් පක්ෂ ආසන 150ක් හිමි කරගෙන ඇත.මෙම ප්‍රතිඵලය අනුව ඉන්දියාවේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩි පත් විය. 
 නරේන්ද්‍ර මෝදිගේ පක්ෂයට ජයග්‍රහණය හිමිවීමත් සමග එම පක්ෂයට හිතැති ආධාරකරුවන් මහ පාරට බැස විනෝද වූ අවස්ථා ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබුණි. මේ අතර “ භාරතය ජය ගනී - අනාගතය සුබයි “ යනුවෙන් ඉන්දීය මැතිවරණයෙන් ජයග්‍රහණය කළ නරේන්ද්‍ර මෝඩි මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව පළමු වරට ප්‍රකාශ කර තිබේ. මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකරගත් භාරතීය ජනතා පක්ෂයේ අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි අනතුරුව සිය මවගේ ආශිර්වාද ලබාගෙන ඇති බව සඳහන්ය. මෙම ජයග්‍රහණයත් සමග ඉන්දියාවේ 15 වන අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝඩි පත්විය.

Saturday, June 23, 2018

ආදි මානවයා

  මානව ඉතිහාසයේ යුග බෙදීමේදී දැනට හුරු පුරුදු ඓතිහාසික යුගය හා ප්‍රාග් ඓතිහාසික යුගය යනුවෙන් කෙරෙන බෙදීම සාධාරණ නොවන බව පෙන්වන සමහර ඉතිහාසඥයින් ඒ වෙනුවට වඩාත් ගැලපෙන්නේ අක්‍ෂර භාවිත කෙරුණ යුගය හා අක්‍ෂර භාවිතයට පෙර යුගය බවට අදහස්‌ දක්‌වා තිබේ. ඔවුන් දක්‌වන පරිදි මානව ඉතිහාසය අධ්‍යයනයේදී පොත පත හා අනිකුත් ලේඛන පමණක්‌ නොව ආදි මානවයා විසින් ඉතිරි කර ගොස්‌ ඇති ඔවුන් පාවිච්චි කළ උපකරණල අවි ආයුධල පොසිල ආභරණ සිතුවම් ඇතුළු තවත් බොහෝ දැ මූලාශ්‍රයන් වෙති. එහෙයින් මානව ඉතිහාසයේ සම්පූර්ණ කාල පරාසයම ඓතිහාසික යුගය යනුවෙන් සැලකිය යුතු බව එම අදහසයි.

   කෙසේ වෙතත් මානව ඉතිහාසය දළ වශයෙන් මෙන්ම ප්‍රධාන වශයෙන් දැනට ඉතිහාසඥයින් හා පුරාවිද්‍යාඥයින් විසින් කොටස්‌ දෙකකට බෙදා දක්‌වයි,එනම් ශිලා යුගය හා ලෝහ යුගය යනුවෙනි. ඒ එකී මානවයා එම අමුද්‍රව්‍යවලින් ආයුධ හා උපකරණ සාදා ගැනීම සැලකිල්ලට ගෙනය. මෙසේ පුරාණ මානවයා විසින් අක්‍ෂර භාවිත කිරීමට පෙර යුගය ක්‍රිස්‌තු පූර්ව 3500 පමණ දක්‌වා පැවැති බව විශ්වාස කෙරේ. මානව ඉතිහාසයේ මුල් ම යුගය වූ ශිලා උපකරණ භාවිත කළ යුගය පැලියොලිතික්‌ හෙවත් පුරාණ ශිලා යුගය යනුවෙන් ද පසු යුගය නියොලිතික්‌ හෙවත් නව ශිලා යුගය යනුවෙන් ද බෙදා දක්‌වා ඇත. එසේ නම් කොට ඇත්තේ ඒ ඒ යුගයේදී මානවයා විසින් භාවිත කළ ශිලා උපකරණ හෝ ආයුධවල හැඩය මෙන්ම නිෂ්පාදන තාක්‍ෂණය ආදිය සැලකිල්ලට ගැනීමෙනි. ඒ අනුව පුරාණ ශිලා යුගයේ මිනිසා තම උපකරණ හා ආයුධ සාදාගෙන ඇත්තේ විශාල ගලකින් පතුරු ගැලවීමෙනි. එසේ පතුරු ගලවා දැමීමෙන් ඉතිරි වූ කොටස අත් පොරෝ ආදිය ලෙසද භාවිත කර ඇත. පසුව එම යුගයේ අවසානය වන විට ඔහු පිහියා හා හෙල්ල තුඩු සාදා ගැනීමට දක්‍ෂ වී ඇත. ඉනික්‌බිතිව ගල් මැදීම හා ඔප මට්‌ටම් කිරීමත් උපකරණ ඒ තත්ත්වයට ගෙන ආ කාලයත් නව ශිලා යුගය යනුවෙන් හඳුන්වා ඇත. පුරාණ ශිලා යුගය ක්‍රිගපූග වසර දෙලක්‍ෂයේ සිට ක්‍රිගපූර්ව දස දහස දක්‌වා කාලය සේ ගැනේ. එය ද මුල් යුගය හා පසු යුගය යනුවෙන් බෙදා දක්‌වා ඇති අතර මුල් යුගයට සම්පූර්ණ යුගයෙන් සියයට අනූ නමයක පමණ කාලයක්‌ වෙන් වී ඇත. එම කාලය තුළදී මානවයාට බෙහෙවින් සමාන සත්ත්ව වර්ග හතරක්‌ පමණ ජීවත් වී ඇත.එම කාලය තුළදී මානවයාට බෙහෙවින් සමාන සත්ත්ව වර්ග හතරක්‌ පමණ ජීවත් වී ඇති බව නැගෙනහිර අප්‍රිකාවේ කළ පරීක්‍ෂණ මගින් සොයාගෙන තිබේ. 1961 දී ජොනතන් ලීකේ නම් මානව විද්‍යාඥයාවිසින් ටැන්සානියාවේ තිබී සොයාගත් හිස්‌ කබල වසර ලක්‍ෂ 18 ක්‌ පැරැණි බව තීරණය කර තිබේ. මේ වන විට ඊටත් වඩා පැරැණි මානව අස්‌ථි අවශේෂ සොයාගෙන ඇති අතර මේවා කාල නිර්ණය කිරීම සඳහා කාබන් 14 ක්‍රමයද පොටෑසියම් ආගන් ක්‍රමය ආදී විද්‍යාත්මක කාල නීර්ණ ක්‍රම යොදාගෙන ඇත. තවද 1972 වසරේදී වසර විසි ලක්‍ෂයකට පෙර ජීවත් වූ මානවයෙකුගේ සම්පූර්ණ හිස්‌ කබලක්‌ කෙන්යාවෙන් සොයාගෙන ඇත. මානව විද්‍යාඥයින් විසින් මේ මානවයා හඳුන්වා ඇත්තේ හෝමෝ හැබිලස්‌ යනුවෙනි. එහි අර්ථය වන්නේ හැකියාවක්‌ ඇති මිනිසා යන්නය. ඔහුට වානර වර්ගයේ සතුන් අතුරින් විශාලතම මොළයක්‌ තිබීමත් ශරීරය කෙළින් තබාගෙන ඇවිදීමට හැකි කමත් උපකරණ භාවිතයට තිබූ දැනුමත් සැලකිල්ලට ගෙන ඔහු වර්තමාන මානවයාගේ ආදි මුතුන් මිත්තා සේ සැලකේ. මෙම මානවයා විසින් භාවිත කරන ලද උපකරණ අතර සත්ත්ව ඇටකටුල මෙන්ම දළ ලෙස පතුරු ගලවා ගත් උපකරණ ඉතාමත් ප්‍රාථමික අවධියට අයත් ඒවාය. සිය දඩයම් කිරීම සඳහා සාමූහික සමාජ ජීවිතයක්‌ ගත කළ මොවුන් මුල්ම සමාජයීය සත්ත්වයන් සේ සැලකේ.
 මෙකී මුල්ම යුගයෙන් පසු හමුවන මානව සාක්‍ෂි ජාවා මිනිසාට හා පීකිං මිනිසාට අයත්ය. ඉන් පැරැණිතමයා ජාවා මිනිසා සේ ගැනෙන අතර ඔහු ජීවත් වූ කාලය ක්‍රිස්‌තු පූර්ව වසර පන්ලක්‍ෂයකට පෙර සේ සැලකේ. 1891 දී ඔහුගේ අස්‌ථි කොටස්‌ ජාවා රටේ තිබී හමුවූ හෙයින් ජාවා මිනිසා යනුවෙන් නම් කොට ඇත. පසුව 1926 හා 1930 දී චීනයේ පීකිං :වර්තමාන බෙයිජිං* නගරයට සැතපුම් 25 ක්‌ නිරිත දිග තිබී මානව අවශේෂ 32 ක්‌ පමණ සොයාගෙන ඇත.ඒ නිසා එම මානවයාගේ සම්පූර්ණ හිස්‌ කබලක්‌ සකස්‌ කර ගැනීමට හැකිව තිබේ. මෙම පීකිං මිනිසා හා ජාවා මිනිසා එකම මූලයකින් පැවතෙන බව දැනට විශ්වාස කෙරේ. මෙම මුල් පුරාශිලා යුගයේ අවසාන 25000 ක වසර කාලයේදී නියෙන්ඩර්තාල් නමින් හැඳින්වෙන මානවයාගේ අවශේෂ හමුවීය. ඔහු ගුහාවල ජීවත් වූවෙකිග 1856 දී වයඹ දිග ජර්මනියේ නියෙන්ඩර් නිම්නයේ තිබී මෙම අස්‌ථි අවශේෂ හමුවීම නිසා නියෙන්ඩර්තාල් මානවයා නමින් නම් කොට ඇත.

 ඉනික්‌බිතිව බෙල්ජියමල ස්‌පාඤ්ඤයල ඉතාලියල යුගොස්‌ලෝවියාවල රුසියාවල ඊශ්‍රායලය ඇතුළු බොහෝ පෙදෙස්‌වලින් සම්පූර්ණ මානව හිස්‌කබල් සොයාගෙන තිබේ. මෙම නියෑන්ඩර්තාල් මිනිසා වර්තමාන මිනිසාට බොහෝ සෙයින්ම සමාන හෙයින් ඔහු හෝමො සැපියෑන්ස්‌ යනුවෙන් නම් කොට තිබේ. සාමාන්‍යයෙන් ඔහු අඩි 5 යි අඟල් 4 ක්‌ පමණ උසින් යුක්‌තය. දැඩි ඇස්‌ බැමි හා ගෙවී ගිය නිකටකින් සමන්විතය. නළල පිටුපසට නැමී ඇතග මොළ කපාටය අඩු තරමකින් යුක්‌ත වුවද එය වර්තමාන කෝකේසියානුන්ට වඩා වැඩිය. නියෑන්ඩර්තාල් මිනිසා හා ඔහුගෙන් පැවත එන්නවුන් වානර ගණයට නොවැටේ. ඔවුන්ට කතා කිරීමේ හැකියාව තිබූ බව නිසැක හෙයින් තම සමාජයේ අනිකුත් සාමාජිකයින් සමග අදහස්‌ හුවමාරු කර ගැනීමේ හැකිකම තිබුණි. එහෙයින් ඔවුන් රැස්‌කර ගත් දැනුම ඊළඟ පරම්පරාවට දායාද කිරීමට ඔවුන්ට හැකිවී ඇත. ඔවුන් මිනී වළලා තිබූ විස්‌තර අනුව ඊළඟ ආත්මයක්‌ පිළිබඳව ඔවුන්ගේ විශ්වාසයක්‌ තිබූ බව සනාථ වී ඇත. ඔවුන්ගේ උපකරණ හා ආයුධ හැඩ ගස්‌වා ගැනීම හොමො හැබිලස්‌ මානවයාට වඩා දියුණු තත්ත්වයක වීයග ගල්වලට යම් ඉරියව්වකින් පහර දීමෙන් මුවහත සහිත පතුරු ලබා ගැනීමට හැකි බව ඔවුන් දැන සිට ඇත. හෙල්ල තුඩල වඩා හොඳ හූරණ උපකරණල පිහියා ආදිය පෙරට වඩා දියුණු තත්ත්වයකින් මෙකල දී දක්‌නට ලැබේ. ඔවුන් වාසය කළ තැන්වලින් හමුවී ඇති විශාල ලිප්වලින් පෙනී යන්නේ විශාල පිරිසක්‌ සමූහ වශයෙන් ජීවත් වූ බවකි. මෙයින් මානව සමාජයේ සමාජ සංස්‌ථාවල දළ ආරම්භය දක්‌නට ලැබෙන බව මානව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

 පුරා ශිලා යුගයේ පසු භාගය ළඟාවීම ක්‍රිස්‌තු පූර්ව 30000 න් පමණ ඇරඹී එම යුගය ක්‍රිස්‌තු පූර්ව 10000 පමණ දක්‌වා පැවැති බව සැලකේ. මෙම යුගයේ මිනිසා බොහෝ සෙයින්ම නූතන මිනිසාට සමාන වීයග නියෑන්ඩර් මිනිසාගේ පැවැත්ම එම කාලයෙන් නැවතී ඇති අතර එම මානව පිරිසට සිදුවූයේ කුමක්‌දැයි නිශ්චිත නැත. ඔවුන්ගෙන් පසු ජීවත් වූ මානවයා ක්‍රොමැන්ගන් යනුවෙන් හඳුන්වා ඇත්තේ ඔවුන්ගේ අවශේෂ ක්‍රො-මැන්ගන් ගුහාවල තිබී හමුවීම නිසාය. මෙම මානවයින් වැලිමුවන්ල බයිසන් වැනි සතුන් දඩයම් කිරීමෙන් ජීවත් වී තිබේ. කඳ කෙළින් තබා ඇවිදින මෙම මානවයාගේ පිරිමින් දළ වශයෙන් අඩි හයක්‌ පමණ උසය. උරහිස්‌ පළල්ය.උස්‌ නළල් තලයකින් හා වැඩුණු නිකටකින් යුක්‌තය. මොළයේ ධාරිතාව වර්තමාන මිනිසාගේ මොළයට සමානය. මීට පෙර මානවයන්ගේ දක්‌නට ලැබුණු විශාල ඇස්‌ බැමි මොහුට නොවීය.

මොවුන්ගේ සංස්‌කෘතිය පෙර මානවයාට වඩා උසස්‌ය.ඔවුන්ගේ උපකරණ හා ආයුධ ද පෙරට වඩා දියුණු වූවා මෙන්ම වර්ග ගණනාවකින් යුක්‌ත විය. ඇත් දළල මුව අං ආදියෙන් සෑදු උපකරණද ඊදුණු ආදියද දමා වීසිකරණ ආයුධ ද දක්‌නට ලැබේ. ඇඳුම් සකස්‌ කර ගැනීම සඳහා ඇටකටු වලින් ඉදිකටු සාදාගෙන ඇත. හමුවී ඇති විශාල ලිප් අනුවත් සත්ත්ව ඇටකටු තොග අනුවත් ඔවුන් මස්‌ පුළුස්‌සා ගෙන කෑ බව සොයාගෙන ඇත. දකුණු ප්‍රංශයේ සොලුට්‍රෙ නම් ස්‌ථානයෙන් මෙසේ විශාල වශයෙන් ඇටකටු සොයා ගෙන තිබේ.වසරේ ටික කලක්‌ හෝ ඔවුන් ගල්ගුහා වල ජීවත් වී ඇත. මෙම යුගය මානව ඉතිහාසයේ සංවර්ධන සමයක්‌ පෙන්නුම් කරයි. සමූහ වශයෙන් සංවිධානය වී ජීවත් වූ බවට ඇති සාධක ඊට උදාහරණයි. ඔවුන් ජීවත් වූ ස්‌ථානවලින් විශාල වශයෙන් හමුවන පිළිස්‌සුන සත්ත්ව ඇටකටු ඊට නිදසුනකි. දඩයම් කිරීම හා ඒවා බෙදා හදාගෙන සාමූහිකව කටයුතු කළ බවත් භුක්‌ති වින්ද බවත් ඉන් හෙළිවී ඇත. හමුවී ඇති අවශේෂ අනුව කලක්‌ තිස්‌සේ පුහුණු වීමෙන් ලත් අත්දැකීම් ඇති කලාකරුවන් මෙන්ම ශිල්පීන් ද මෙම සමාජයේ සිට ඇත.


ඔවුහු මළ සිරුරු තැන්පත් කිරීමේදී නියෑන්ඩර්තාල් මිනිසාට වඩා සැළකිල්ලක්‌ දක්‌වා තිබේ. මිනියේ දැත් නවා පපුව මත තැබීමල ආභරණාදියත් ආයුධ වර්ගත් මිනී වළ තුළ තැන්පත් කර තිබීමෙන් මළවුන්ගේ ආත්මය ගැන ඔවුන් තුළවූ විශ්වාසය අවබෝධ කර ගත හැකිය. ප්‍රංශයෙන් හමුවී ඇති ගුහාවල දොරටු බිත්ති ද සීලිම ද වැලිමුවන් හෝ ඔවුන් විසින් දඩයම් කළ සතුන්ගේ රූප ඇඳීමෙන් සරසා තිබේ. මෙම සතුන් ඇවිදින ආකාරයෙන් ඇඳ තිබීම ගැන අදහස්‌ දක්‌වන මානව විද්‍යාඥයෝ දඩයම් සඳහා සතුන් ලබා ගැනීමේ ඉන්ද්‍රජාලික අදහස්‌ මත ඒවා අඳින්නට ඇතැයි දක්‌වති. ක්‍රි.පූ 10000 පමණ දී මේ යුගය අවසන් වන්නට ඇත්තේ ජීවත් වීමට අවශ්‍ය ආහාර සොයා ගැනීමේ ගැටලු නිසා යෑයි සැලකේ.අයිස්‌ තට්‌ටු දියවීම ඇරඹීමත් සමග දේශගුණයේ ඇති වූ වෙනස්‌කම් නිසා වන සතුන් බෝල්ටික්‌ ප්‍රදේශවලට යන්නට ඇති බවත් මේ මානවයාද සතුන් අනුව උතුරු දෙසට සංක්‍රමණය වන්නට ඇතැයි විශ්වාස කරයි.

(උපුටා ගැනීමකි)

Thursday, June 21, 2018



ගැහැණියක්

නිදහස් ගැහැණියක් වීම
පහසු නැත
ඔබට හොඳ උගත්කමක් තිබිය යුතුය
කෙලින් කතා කරන්නට
හැකි විය යුතුය
කිසිවෙක් ළඟ දණින් නොවැටෙන්න නම්
උඹේ වියදමට අවැසි මුදල්
ඔබම සපයා ගත යුතුය
ඒ සියල්ලටම වඩා උපරිමය දක්වාම
දරා සිටින්නටද
ඔබට හැකියාව තිබිය යුතුය

භාරතීය දේශපාලනය හා දේශපාලන පක්ෂ 
   
    ඉන්දියාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ෆෙඩරල් ව්‍යවස්ථාමය සමූහාණ්ඩුවකි. එය ප්‍රාන්ත 28 කින් සහ මාධ්‍ය පාලන ප්‍රදේශ 7 කින් සමන්විතය. ඉන්දියාව යනු ඉන්දියාවේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වුද ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා  රජයේ ප්‍රධානියා වන්නාවූ ද ෆෙඩරල් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් වන බැවින් ඉන්දියාවේ දේශපාලනය සිදු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරවය. ඉන්දියාව විසින් ද්විත්ව ආණ්ඩුක්‍රමයක් එනම් මධ්‍ය සංගමයක් ද පර්යන්තයේ ප්‍රාන්තද අඩංගු ද්විත්ව රජයක් පවත්වාගෙන යයි. මධ්‍යම හා ප්‍රාන්ත රජයන් යන ද්විත්වයෙහිම සංවිධානය, බලතල හා සීමාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් අර්ථ දක්වා ඇති අතර එය ලිඛිත දෘඪ සහ උත්තරීතර යැයි සැලකේ. එනම් ජාතියෙහි නීති එය පරිදි විය යුතුය. ඉන්දියානු ෆෙඩරේෂනයෙහි ප්‍රාන්තයන් නිරූපණය කරන උත්තර මන්ත්‍රී මණ්ඩලයක් ද එනම් රාජ්‍ය සභා සමස්තයක් වශයෙන් ඉන්දියාවේ ජනතාව නිරූපණය කරන පහළ මන්ත්‍රී මණ්ඩලයක්ද එනම් ලෝක සභාව වෙතින් සමන්විත ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයන් සඳහා අවකාශයක් සපයා ඇත. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ස්වාධීන අධිකරණයක් සපයන අතර එහි අග්‍රස්ථය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. මෙම අධිකරණය වෙත පැවරී ඇති විධි නියෝගය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක ගැනුම, මධ්‍යම රජය සහ ප්‍රාන්ත අතර ඇතිවන ආරවුල් සමථයට පත් කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන කිසියම් මධ්‍යම හෝ  ප්‍රාන්ත නීති ඥාන්‍ය කිරීම වේ.
     ඉන්දියාව ලොව බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පවතින රටවල් අතුරින් විශාලතම ජනගහනයකින් යුත් රාජ්‍යය වේ. තවද එහි විවිධ ජනවර්ගවල පුද්ගලයෝ වෙසෙති. එහෙයින්ම එරට විශාල දේශපාලන පක්ෂ ප්‍රමාණයක් තිබීම සාමාන්‍ය දෙයකි.ඉන්දියාවේ දේශපාලන පක්ෂ ප්‍රධාන වර්ගීකරණ දෙකක් යටතට වර්ග කෙරේ. එනම් ජාතික දේශපාලන පක්ෂ සහ ප්‍රාන්ත දේශපාලන පක්ෂ යනුවෙනි. නමුත් එසේ වර්ගීකරණයට සියලු පක්ෂ සුදුසුකම් ලබන්නේ නැත. ඒ සඳහා විවිධ සුදුසුකම් සම්පූර්ණ කළ යුතුය.මෙසේ සුදුසුකම් ලබන පක්ෂවලට නිත්‍ය ඡන්ද ලකුණක් හිමිවන අතර මැතිවරණවලදී රූපවාහිනී, ගුවන්විදුලි කාල සීමා ආදිය සඳහා ද සුදුසුකම් ලබයි.වර්තමානයේ ඉන්දියාවේ ජාතික පක්ෂ ලෙස සුදුසුකම් ලැබූ පක්ෂ හතක් සහ ප්‍රාන්ත පක්ෂ ලෙස සුදුසුකම් ලද පක්ෂ 48 ක් වෙති.ජාතික පක්ෂයක් ලෙස සුදුසුකම් ලැබීමට නම් යම් දේශපාලන පක්ෂයක් පහත කොන්දේසි එකක් හෝ සපුරා තිබිය යුතුය.

එම පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාවේ ආසනවලින් සියයට දෙකක් හෝ ඊට වැඩියෙන් හෝ දිනාගත යුතුය. තව ද එම ආසන සංඛ්‍යාව ප්‍රාන්ත තුනක් අතරවත් බෙදී ගොස් තිබිය යුතුය. (එක ප්‍රාන්තයකින් පමණක් ආසන විශාල ප්‍රමාණයක් දිනා ගැනීම ප්‍රමාණවත් නොවේ)
ලෝක් සභා මැතිවරණයකදී හෝ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක මැතිවරණවලදී ප්‍රාන්ත හතරකවත් සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 6 බැගින් ලබා ගැනීම සහ ලෝක් සභා ආසන 4 ක් වත් හිමි වීම.
ප්‍රාන්ත පක්ෂයක් ලෙස අවම වශයෙන් ප්‍රාන්ත හතරකදී සුදුසුකම් ලැබීම.
ප්‍රාන්ත පක්ෂයක් ලෙස සුදුසුකම් ලැබීමට පහත සඳහන් කොන්දේසි එකක් හෝ සපුරාලිය යුතුය.
එම පක්ෂය ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවේ ආසනවලින් සියයට තුනක් හෝ ආසන තුනක් හෝ දිනාගත යුතුය.
ප්‍රාන්තයෙන් තේරී පත්වන ලෝක් සභා මන්ත්‍රීන් අතුරින් සෑම 25 දෙනකුටම එක් මන්ත්‍රීවරයකු බැගින් අවම වශයෙන් තේරීපත් විය යුතුය.
ලෝක් සභා මැතිවරණයක සහ ප්‍රාන්ත සභා මැතිවරණයකදී ප්‍රාන්තයේ සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට හයක් දිනාගැනීම සහ ලෝක් සභා ආසන එකක් හා ප්‍රාන්ත සභා ආසන දෙකක් අවම වශයෙන් දිනා ගත යුතුය.
කිසිදු ආසනයක් දිනා නොගත්තත් ප්‍රාන්තයේ සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් අවම වශයෙන් සියයට අටක් ලබා ගත යුතුය.


ඉන්දියාවේ ජාතික දේශපාලන පක්ෂ ලෙස සුදුසුකම් ලබා ඇති පක්ෂ හත පහත දැක්වේ. (පැරණිම පක්ෂයේ සිට නවතම පක්ෂය දක්වා පිළිවෙලට)
1. ඉන්දියානු ජාතික කොන්ග්‍රසය (ආරම්භය 1885)
2. ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (ආරම්භය 1925)
3. ඉන්දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (ආරම්භය 1964)
4. භාරතීය ජනතා පක්ෂය (ආරම්භය 1980)
5. බහුජන සමාජ් පක්ෂය (ආරම්භය 1984)
6. සමස්ථ ඉන්දියානු ත්‍රිනමූල් කොන්ග්‍රසය (ආරම්භය 1998)
7. ජාතිකවාදී කොන්ග්‍රස් පක්ෂය (ආරම්භය 1999)
                 

Saturday, June 16, 2018


ග‍්‍රාමීය සංවර්ධනය සඳහා නවමාධ්‍යයොදා ගැනීම


ගැමි ජනතාවගේ ජීවන රටාව වඩා උසස් තත්වයෙන් ගත කිරීමට අවශ්‍ය පරිදි ආදායම් තත්වය ඉහළනැංවීම ග‍්‍රාමීය සංවර්ධනය වේ. ගැමි ජනතාවගේ සංවර්ධනය යනු එදිනෙදා ජීවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා ගැටළුවකින් තොරව සපුරා ගැනීමට අවකාශය සැලසීම බව සැලකිය හැක. ග‍්‍රාමීය අර්ථ ක‍්‍රමය තුළ පවතින්නේ පවුල කේන්ද්‍ර කර ගත්  පරිභෝජනවාදී ආර්ථික ක‍්‍රමයකි. කෙමෙන් කෙමෙන් සංවර්ධන ඉලක්ක සපුරා  ගැනීමට දරන උත්සාහයේදී ග‍්‍රාමීය ආර්ථිකය තවදුරටත් සරල ආර්ථික කි‍්‍රයාවලීන් මත රඳා පවතින්නේ නැත. පුද්ගල අවශ්‍යතා සංකීර්ණවත්ම ග‍්‍රාමීය ආර්ථිකයද සංවර්ධන විය යුත්තකි. එසේ නොමැතිනම් විවිධ සමාජ ගැටළුවලට මුහුණපාන්නට සිදුවේ.මෙම සමාජ  ගැටළුවලට විසදුම් ලැබීමට නම් ග‍්‍රාමීය සංවර්ධනය වීම සිදුවිය යුතුය.

ඩිජිටල් තාක්ෂණය(සංඛ්‍යාංක තාක්ෂණය)භාවිත කරමින් තොරතුරු  හුවමාරු කරගන්නා මාධ්‍ය නවමාධ්‍ය වශයෙන් සදහන් කළ හැකිය. පරිගනකය,  අන්තර්ජාලය, ජංගමදුරකථනය, මෙම නවමාධ්‍යන්ට අයත්වේ. වේගවත්ව ක්ෂණිකව තොරතුරු  හුවමාරු කරගැනීමේ හැකියාව නවමාධ්‍යන් සතුව පවතී.
ගෝලීය ආර්ථික ක‍්‍රමයක් කි‍්‍රයාත්මක වන අද සමාජයේ සාක්ෂරතාවය යන්න  අභියෝගයට ලක්ව ඇත. ඒ වෙනුවට අද බිහිවී ඇත්තේ බහුමාධ්‍ය  සාක්ෂරතාවයයි.  මේ හරහා පරිගනක තාක්ෂණික දැනුම අන්තර්ජාලය හරහා ගනුදෙනු කරමින් නවසමාජය වෙත පියමනින්නට හැකියාව තිබිය යුතුය.  ග‍්‍රාමීය අධ්‍යාපනික සංවර්ධනය ඇතිකිරීමට නම් මෙම බහුමාධ්‍ය සාක්ෂරතා ඥනය ගැමි දරුවන්ට ලබාදිය යුතුය. මේ හරහා නාගරික  තරගකාරී සමාජයක් සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය දැනුම ලැබේ. එමෙන්ම වර්තමාන රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවශ්‍ය වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමේ හැකියාවද  ලැබේ. ගෝලීය සමාජයට ගැලපෙන  තාක්ෂණික දැනුමෙන්  සන්නද්ධ වෘත්තීය  සුදුස්සන්  මේ හරහා බිහි වේ. විරැකියාව අවම කිරීම  සදහා නවමාධ්‍ය  තාක්ෂණික දැනුම අත්‍යවශ්‍ය වේ. ශ‍්‍රී ලංකාවේ ගැමි දරුවන්ගේ නවමාධ්‍ය දැනුම ලබාදීම සදහා විවිධ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කර තිබේ. උදාහරණ වශයෙන්,
        1. නැණසල ව්‍යාපතිය
        2. කොත්මලේ අන්තර්ජාල ව්‍යාපෘතිය
ආදිය දැක්විය හැකිය. මෙවැනි ව්‍යාපෘති හරහා විවිධ පරිගනක පාඨමාලා කි‍්‍රයාත්මක කර නවමාධ්‍ය දැනුම ලබාදේ. පරිගනක ආශි‍්‍රත දැනුම ලබා ගැනීමේදී අන්තර්ජාලය භාවිත කරමින් විවිධ රටවල පවතින අධ්‍යාපනික පාඨමාලා මොනවාද යන්න දැන ගැනීමටත් ඒ හරහා විවිධ රටවල අධ්‍යාපනික අවස්ථාවන් ලබා ගැනීමේ හැකියාවද පවතී. නවමාධ්‍ය හරහා විශ්වයටම විවෘත වූ පොදු කි‍්‍රයාවලියක් අනුගමනය කරන හෙයින් ඒ  ඒ රටවලින් අවශ්‍ය දැනුම ලබාගැනීමේ හැකියාව පවතී.  ග‍්‍රාමීය ප‍්‍රදේශයන්හි අන්තර්ජාලය භාවිතය වැඩිදියුණු කිරීමෙන් ඒ හරහා තමාට ලබා ගත නොහැකි දැනුම් අවස්ථාවන්,  රැකියා අවස්ථාවන් රැසක් ළගා කර ගත හැක. විවිධ වෙබ් අඩවි හරහා මෙම අවස්ථාවන්ට පිවිසිය හැකිය. එමෙන්ම දැනුමට අවශ්‍ය තොරතුරු තිබෙන පිටු හා ඒවා බාගත  කරගැනීමේ හැකියාව නවමාධ්‍ය සතුව පවතී. මෙනිසා ගැමිදරුවන්ගේ අධ්‍යාපනික සංවර්ධනය ඇතිකිරීම සදහා නවමාධ්‍ය දැනුම අත්‍යවශ්‍ය බව පැහැදිලි කරුණකි.

සංවර්ධන කි‍්‍රයාකාරකම් ගැමි ජනතාව වෙත  සම්පේ‍්‍රෂණය කිරීම සඳහා සන්නිවේදන මාධ්‍යක් ලෙස නව මාධ්‍ය යොදා ගැනීම වැදගත් වේ. නව මාධ්‍ය ඉතා කාර්යක්ෂම ලෙස ග‍්‍රාමීය සංවර්ධන ක‍්‍රියාවලියට දායක කර ගත හැකිය. ග‍්‍රාමීය කෘෂිකාර්මික ඥානය ලබා ගැනීමට අන්තර්ජාලය භාවිත කිරීමේ හැකියාව ඇත. විශේෂයෙන් නවබිජ හදුන්වාදීම,  පැළ හදුන්වාදීම සඳහා ගැමි කෘෂිකර්මාන්තයේ යෙදෙන පුද්ගලයන්ට අවශ්‍ය දැනුම උපදෙස් ලබාදීම සිදු කළ හැකිය. සාම්ප‍්‍රදායික කෘෂිකාර්මික අදහස්  වෙනුවට නව උපක‍්‍රම, නවීන තාක්ෂණික ක‍්‍රම උපයෝගී කර ගනිමින් කෘෂිකර්මය දියුණු කර ගන්නා ආකාරය පිළිබද දැනුම ලබා ගැනීමට හැකියාව තිබේ. මෙහිදී සැලකිය යුතු වැදගත් කරුණක් නම් අන්තර්ජාලය යොදාගත හැකිවන්නේ කෘෂිකාර්මික ඥානය ලබාගැනීමට පමණක් නොවේ. විවිධ ක්‍ෂේත‍්‍රයන්ගේ දැනුම ලබාගැනීම සදහා නව මාධ්‍ය යොදා ගත හැකිය. එමෙන්ම සීඞී, ඞීවීඞී තැටි ආදී ජංගම මාධ්‍යන් හරහා ගැමියන්ට රූපසටහන් මගින් කෘෂිකාර්මික ඥාණය ලබාදීමේ හැකියාව  තිබේ. ආර්ථික දැනුම මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනයද මේ හරහා ඇති වී තිබේ. අද වන විට  බණ ඇසීමට පිරිත් සජ්ගායනා ශ‍්‍රවණය කිරීමට මිනිසුන් තුළ පෙර නොවූ  පරිදි උනන්දුවක් ඇති වී තිබේ. සීඞී, ඞීවීඞී පට, MP3 Players  හරහා උදේ සවස මෙසේ ආගමික කටයුතුවලට නැඹුරුතාවක් දක්වයි.

ගැමි ජනතාව තුළ අද වන විට ජංගම දුරකථනය එදිනෙදා භාවිත සාමාන්‍ය මෙවලමක් බවට පත්වී ඇත. මේ හරහා සමාජ මාධ්‍යන්ට පිවිසීමේ හැකියාව පවතී. සමාජ මාධ්‍යන් මගින් තොරතුරු හුවමාරුකර ගැනීමේ හැකියාව ඉතාමත් වේගයෙන් ප‍්‍රචලිත වී ඇත. එමෙන්ම එක් ප‍්‍රදේශයකට හුදෙකලා වී සිටින ගැමි ජනතාවට ලෝකය පුරා සිටින පුද්ගලයන් සමග සබදතා පැවැත්වීමටත් ලොව පුරා තොරතුරු සන්සන්දනය  කිරීමේ හැකියාව පවති. ඒ හරහා තොරතුරු දැනුම බෙදා ගැනීමේ හැකියාව පවතී. ලෝකයේ  එහා කොණක සිටින පුද්ගලයන් සමග ලෝකයේ මෙහා කොණේ සිට සම්බන්ධතා පවත්වා ගැනීමේ හැකියාවද ඒ හරහා පවතී.
සංවර්ධනය වෙමින් පවතින රටවල ග‍්‍රාමීය අධ්‍යාපනය පහළ මට්ටමක පවතී. මෙනිසා යහපත් සෞඛ්‍ය පුරුදු චර්යා රටාවන් හැඩගස්වා ගැනීමට එතරම් උනන්දුවක් නොදක්වයි. මෙනිසා දරිද්‍රතාවය, ළදරු මරණ අනුපාතිකය වැඩිවීම, මන්දපෝෂණය වැනි ගැටළුවලට මුහුණදීමට ග‍්‍රාමීය ජනතාවට සිදුවේ. කොතරම් අප සංවර්ධනය වෙත ළඟාවී ඇතැයි ප‍්‍රකාශ කළද ශ‍්‍රී ලංකාවේ ගැමි ප‍්‍රදේශයන්හි මෙවැනි ගැටළු පවතී. මෙවැනි ගැටළු විසදා ගැනීම සදහා ජංගම මාධ්‍යන් යොදා ගැනීමේ හැකියාව පවතී. ජංගම දුරකථන, සීඩි / ඩිවිඩි තැටිආදිය යොදා ගත හැකිය. අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් චර්යා රටාවන් ඇතුළත් දර්ශන ජනතාවට ප‍්‍රදර්ශනය කරමින් මෙම දැනුම ලබා දිය හැකිය. සාම්ප‍්‍රදායික මාධ්‍ය මෙන් නොව නව මාධ්‍ය මගින් ආකර්ෂණීය ආකාරයෙන් මෙම තොරතුරු ජනතාව වෙත සම්පේ‍්‍රෂණය කිරීමේ හැකියාව පවතී. ගර්භණී කාන්තාවන්, මව්වරුන් සහභාගී වන සායනයන්වලදී නව මාධ්‍ය උපයෝගී කර ගනිමින් අවශ්‍ය දැනුම ලබා දිය හැකිය. පවුල් සෞඛ්‍ය උපදෙස් අඩංගු සීඩි තැටි ආදිය ලබා දිය හැකිය.

සමාජ මාධ්‍යන් භාවිතා කිරීම හරහා ගැමි ජනතාවට වෙළදපොළක් නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතී. වෙළෙන්දන් වශයෙන් මෙන්ම පාරිභෝගිකයන් වශයෙන්ද කටයුතු කිරීමේ හැකියාව පවතී. තමන්ට කිසියම් භාණ්ඩයක් විකුණා ගැනීමට අවශ්‍ය නම් සමාජ මාධ්‍යන් භාවිත කරමින් එම භාණ්ඩ පිළිබද දැන්වීමක් පළකර තමන්ට අවශ්‍ය මිල ගණන් යටතේ එය විකුණා ගැනීමේ හැකියාව මෙන්ම අවශ්‍ය කිසියම්  භාණ්ඩයක් මිලදී ගැනීමේ හැකියාවද පවතී. ikman.lk  අද මිනිසුන් අතර වඩාත් ජනපි‍්‍රය අතර ඒ හරහා බොහෝ පිරිස් තම භාණ්ඩ විකුණා ගැනීම මෙන්ම අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමද සිදුකරයි. මෙහිදී  පැරණි මාධ්‍ය මෙන් නොව ඉතා ක්ෂනිකව, වේගවත්ව මෙම කාර්යයන් කර ගත හැකිවාක් මෙන්ම එයට ලැබෙන ප‍්‍රතිචාරද  එවෙලේම ලබාගත හැකිය. මෙරට පමණක් නොව පිටරටවල පවතින යම් යම් අවශ්‍ය භාණ්ඩද ගෙන්වා ගැනීමේ හැකියාව පවතී. e-bay  වැනි  වෙබ් අඩවි හරහා මෙය සිදු කළ හැකිය.

ග‍්‍රාමීය සංවර්ධන කාර්යයේදී නව මාධ්‍ය යොදා ගැනීම  වඩාත් කාර්යක්ෂම මෙන්ම වඩා ඵලදායී වන බව මෙමගින් පෙනේ. නමුත් ශ‍්‍රී ලංකාවේ තවමත් නව මාධ්‍ය ගැමි ජනතාව  අතර ඉතා විශාල වශයෙන් ප‍්‍රචලිතව ඇති බවක් නොපෙනේ. ග‍්‍රාමීය අධ්‍යාපන මට්ටමේ නොදියුණුව හේතුවෙන් ඇතැම් පුද්ගලයන් නව මාධ්‍ය යනු කුමක්ද යන්න පවා නොදැන සිටීම කණගාටුවට කරුණකි. මොණරාගල ප‍්‍රදේශයේ සිදුකරන නව මාධ්‍ය පිළිබඳ පර්යේෂණයකින් තහවුරු වූයේ නව මාධ්‍ය භාවිතය ඉතා අඩු මට්ටමක පවතින බවයි. මෙනිසා නව මාධ්‍ය ගැමි ජනතාව අතරට ගෙන යා යුතුයි. ග‍්‍රාමීය නාගරික විෂමතාව දුරු කිරීමට නම් මෙවැනි යෝජනා කළ හැකියි. විශේෂයෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශයන්හි නව මාධ්‍ය භාවිතා කිරීමට  අවශ්‍ය මූලික පහසුකම් සැලසිය යුතුය. දුරකථන සංඥා කුළුණු ග‍්‍රාමීය ප‍්‍රදේශ ආශ‍්‍රිතව සැලසිය යුතුයි. එමෙන්ම 3G  තාක්ෂණය ලබාදීම, WiFi කලාප ඇති කිරීම මගින් ග‍්‍රාමීය ප‍්‍රදේශයන්ට නව මාධ්‍ය ප‍්‍රවේශ කළ හැකිය.

Tuesday, June 12, 2018

                          විධාන මාධ්‍ය භාවිතය තුළ මැතිවරණ ප්‍රචාරය
           පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය, හා සම්මිශ්‍රිත අන්‍ය මාධ්‍ය ජාලයකින් වටවූ ලෝකයක ඒ ඒ මාධ්‍යයන් මගින් විහිදෙන සන්නිවේදනය කෙරෙන දේශපාලන චර්යා  බොහෝ දෑ උගත හැකිය. අපමණ සාධක හඳුනා ගත හැකිය. අපමණ බලපෑම් පෙරළා මාධ්‍ය මගින්ම සමාජයට යොමු විය හැකි බවත් එසේ යොමුවීමෙන් සිදුවිය හැකි අර්ථය හෝ අනර්ථය දැන ගැනීමටත් හැකියාව ලැබේ. දේශපාලකයන් වශයෙන් සම්පූර්ණ කාලය කැප කර සිටින පිරිසක් සෑම රටකම පාහේ දැකගැනීමට හැකිය.  ඒ උදවියගේ කතාබහ, වෘත්තිමය ප්‍රවණතා, සංවර්ධන කටයුතු, මෙහෙයුම් නව සැලසුම් යනාදි දහසක් කරුණු විදහා දැක්වීමට අනේක විධ මාධ්‍ය භාවිතයට ගැනීම සිදුවේ. අපගේ මේ කටයුත්ත ඉටු කෙරෙන්නේ මේ ආකාරයෙන් බව මහජනතාව දැන ගත යුතුය යන පැහැදිලි වූත් පවිත්‍ර වූත් චේතනාවෙන් යුක්තව මාධ්‍ය භාවිතයට ගැනීම දුරාතීතයේ සිටම සිදු කෙරුණකි. 
ඓතිහාසික පර්යාලෝකයකින් බලන කල බොහෝ නරපතීන් සහ දේශමාමකයින් තම කාර්යභාරය ජනතා හිතසුව සඳහා භාවිතයට ගැනීමේදී ඔවුන්ට ජනතාවට සමීප විය හැකි මාධ්‍ය ජාලයක් උපයෝගී කරගත් බවක් පෙනී යයි. ග්‍රීසියේ පැරණිතම නරපතීන් තම සමාජ මෙහෙවර ඉදිරියට ගෙනයාම සඳහා “හඬ දූත” මෙහෙවර හා ලියා සටහන් කිරීම් සිදුකර ඇති බව පෙන්නුම් කෙරේ. මැරතන් යන්නද බිහිවූයේ මේ ආකාරයටය. පසුව රෝමයේ දේශපාලකයන් තම රාජ්‍ය ලේඛන ජනතාව වෙත ගෙනයාමට බිත්ති පත්තර හා ගැසට් නැමැති පත්‍රිකා ක්‍රමය උපයෝගී කරගත් බව පෙනේ. මෙලෙසින්ම කුඩා කණ්ඩායම් අතරට ගොස් ඔවුන් දැනුවත් කොට පෙරලා ඒම කණ්ඩායම් වල සිටි ජනමත නායකයින්ගේ  උපකාරය අපේක්ෂා කරගත් බවක්ද පෙනේ. මෙසේ විවිධාකාර මාධ්‍ය කෙමෙන් පරිණාමයට පත්විය. ප්‍රාචීනවාදී අපට භාණ්ඩ සම්ප්‍රදාය නමින් සන්නිවේදන මාර්ගයක් තිබූ බවත් එහිලා භාෂණය, ලේඛණය, රූපණය, ප්‍රතිලේඛණය, සන්දේශනය, සන්දේශ හා රජය වැනි කටයුතු ආගන්තු නොවූ බවක් පෙනේ. 
සන්නිවේදන නාලිකාවක් ලෙස මාධ්‍යය දේශපාලන ප්‍රභූන් සහ ජනතාව අතර ප්‍රබල භූමිකාවක නිරත වෙයි. එහිදී ජනමතය හැඩ ගැස්වීමේ ඉන්ද්‍රජාලික හැකියාවක්  මාධ්‍ය සතුව පවතී. ඔස්ටින් රනේ දක්වන ආකාරයට බහුතර ජනතාවගේ මූලික සංස්ථාපන මෙන්ම නිශ්චිත මත හැඩගැස්වීමෙහි ලා මාධ්‍ය ඍජුව මැදිහත් වේ. මාධ්‍ය සතුව පවතින මෙම හැකියාව වර්තමාන දේශපාලනය නව ඉසව්වකට තල්ලු කොට ඇත.දේශපාලනය මාධ්‍යකරණය වීම නමින් එම නව ඉසව්ව නම් කළ හැකිය. 1960 දශකයේ යුරෝපයේ ආරම්භ වූ මෙම පැරඩයිම වෙනස තුළ ජනතා කේන්ද්‍රිය ජනසේවා මාධ්‍ය භාවිතයෙන් වෙළඳපොළ අරමුණු කේන්ද්‍රීය මාධ්‍ය භාවිතයන් බවට පරිවර්තනය විය. වර්තමානය වන විට ලෝක ගෝලයම මාධ්‍ය  තුළ සිදු වූ මෙම පැරඩයිම විස්ථාපනය නිසා නිර්මාණය වන අත්දැකීම් වලින් යුක්තය. එහිදී සමාජය හා තනි පුද්ගලයා තීන්දු ගන්නෙක්, තෝරන්නෙක්, සිතන්නෙක් ලෙස නොව අවනත වන්නෙක් ලෙසට මාධ්‍ය විසින් පෙරළා ඇත. එහිදී වර්තමාන මාධ්‍ය හැඳින්විය යුත්තේ ජනමාධ්‍ය යනුවෙන් නොව විධාන මාධ්‍ය යනුවෙනි. මන්ද මාධ්‍යයේ අණසකට හෝ විධානයට බහුජනයා ප්‍රබල ලෙස අවනත වී ඇති බැවිනි. 

                                              මුහුදු වෙරළ සනසන්නෝ. 

       ඉන්දියන් සාගරයේ  මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ පටන්ම විදේශිකයන්ගේ ආකර්ෂණයට ලක් වූ දිවයිනකි. ග්‍රීසිය,මැද පෙරදිග,පෘතුගාලය,ඕලන්දය,එංගලන්තය ආදී රට වලින් අතීතයේ පටන් විදේශිකයන් ලංකාවට පැමිණි බවට සාක්ෂි එමටය.විදේශිකයන්ගේ ලංකාගමනය නූතන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.එහෙත් සංචාරකයා  යන හැඳින්වීම අර්ථ දක්වන විට පෙනී යන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම විදේශිකයෙක්ම සංචාරකයෙකු නොවන බවයි. 
   ශ්‍රී ලංකාවේ මෑත කාලීන විදේශ විනිමය උපයන මූලාශ්‍ර අතර සංචාරක ව්‍යාපාරය ප්‍රධාන තැනක් ගනී. ශ්‍රී ලංකාවේ පසුගිය දශක තුනක පමණ කාලය දෙස විමර්ශනාත්මකව බැලීමේදී සංචාරක ව්‍යාපාරයේ ඇති වූ වර්ධනය මත ඉහත කරුණු සනාථ වේ.විමසිල්ලෙන් බැලු කළ ආර්ථික වාසි මෙන්ම සමාජයට හානි දායක වූ සමාජ අපචාරයන්ගේද වර්ධනය සිදු වී ඇත.සංචාරක කර්මාන්තය වැඩි වශයෙන් විදේශ විනිමය උපයන කර්මාන්තයක් ලෙසින් මතු පිටින් පෙනුණද නොදැනුවත්වම වාගේ එය අපේ ජන ජීවිතයට කර ඇති හානිය අමතක නොකළ යුතයු .ලෝකයා ඉදිරියේ බහුමානයට පාත්‍ර වූ අපේ සංස්කෘතිය නවීකරණය වන්නට යම් පිළිලයක් වී ඇත.ගණිකා වෘත්තියද වර්ධනය වී ඇති බව පෙනේ.කොළඔ, මහනුවර, හික්කඩුව, බෙන්තොට, මීගමුව වැනි ප්‍රදේශ වල ඇතැම් කාන්තාවන් පමණක් නොව කුඩා ළමුන්ද ගණිකා වෘත්තියට යොමු වී ඇති බව සොයා ගෙන  ඇත.ශීඝ්‍රයෙන් පැතිර යන සමාජ රෝගයන්ට හේතුව මෙකී සංචාරකයන්ගේ ක්‍රියාකලාපයයි.කෙසේ නමුත් පසුගිය දශක කිහපිය තුළ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය සඳහා රාජ්‍ය මට්ටමින් පියවර රාශියක් ගෙන ඇත.මෙහි මූලාරම්භය වූයේ 1966 ලංකා සංචාරක මණ්ඩල පනත හා ලංකා හෝටල් සංස්ථා පනතයි. 
    ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයෙන් 67% ව්‍යාප්තව ඇත්තේ වෙරළ කලාපයේය.එහෙත් මෙම දර්ශනීය වෙරළ සමාජ අපචාරි ක්‍රියාවන්ට බලපාන ස්ථානයක් වන්නේ නොදැනුවත්මය.ලංකාවේ ළමයින්ගේ හා ගැටවරයින්ගේ ගණිකා වෘත්තිය වාණිජමය ලෙස බලන කළ අද පවත්නා දරුණු හා විනාශකාරි ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ ලංකාවට පැමිණෙන සංචාරකයින් වැඩි වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.1980 ගණන් වලදී අප සමාජයේ පැවති කැළඹීමේ ප්‍රතිඵලයක් ලෙස යුගල වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව පහත වැටිණි.එහෙත් අස්වාභාවික කාමාශාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා බාල ළමයින්, ගැටවරයින් ගොදුරු කර ගැනීමේ අටියෙන් යළි යළිත් මෙහි පැමිණෙන පැමිණ දිගින් දිගට මෙහි රැඳී සිටින ළමයින් හා ගැටවරයින් සමඟ ලිංගික සේවනයෙහි යෙදෙන්නන්ගේ අඩුවක් නොවීය.වෙරළ ආශ්‍රිත ප්‍රදේශ වල සංචාරක ඇසුරට යොමු වන දරුවන්ගෙන් වැඩි දෙනෙක්ම දෙමාපියන්ගේ අනුදැනුම හා අනුමැතිය පිට එහි යෙදෙන බවට සාධක තිබේ.දරිද්‍රතාවය ,නොදැනුවත්කම ,විවෘත ආර්ථිකය ඊට හේතු වී ඇත. 
          මීට අමතරව කෙටිකාලීන ප්‍රතිලාභ සඳහා එනම් එදිනෙදා වියදම සොයා ගැනීමටත්, පාවහන් යුවලක්, දුම්වැටි ඇසුරුමක් ,කමිසයක්, පෑනක් ආදී සුලු තෑග්ගක් වෙනුවෙන් සංචාරකයින් සමඟ ආශ්‍රය පවත්වන කොටසක්ද වේ. ලිංගාශ්‍රිත රෝග ගණනාවකට ගොදුරු වූ ගැටවරයින් මත්ද්‍රව්‍ය ශරීර ගත කර ගන්නා අතර නිතරම මත්පැන් පානය කර සිටින නිතරම ගණිකා ඇසුර සොයා යන අය මෙන්ම සොරකම් වලටද සම්බන්ධ අය මොවුන් අතර වේ.මෙම ගැටළුකාරී තත්ත්වය මෙසේ පැවතියහොත් ඒඞ්ස් ව්‍යාප්තිය නතර කළ නොහැකි වනු ඇත.එය ජාතිය රෝගී කරනවා පමණක් නොව ජාතිය සතු ධනයද රෝගී නිවාරණය සඳහා වියදම් කිරීමට හේතුවක් වනු ඇත. 
             උක්ත පසුබිමට අනුව ලංකාවේ සංචාරක කර්මාන්තයේ සන්ධිස්ථානය මුහදුු වෙරළ ලෙස තහවුරු වේ.මේ අනුව සමාජ පරිහානියක් ඇති වීමට පරිසරය සැකසෙමින් පවතී.එබැවින් ඒ පිළිබඳ සිතන්නට කාලයයි මේ.                                                     


2018/06/18

Saturday, June 9, 2018

        ස්නේහයේ නාමයෙන්


කුළුඳුල් බීජයක් වී රෝපනය වන්නට
ජීවන මංතීරයේ
ගිම්හානයේ මෝදුවන කැකුළු විලසින්
ජීවිත මංසලේ යුතුකම් පුදන්නට
ලැබුනි මට තෝතැන්නක්
වසන්තයට පියමනින්නට
ස්නේහයේ නාමයෙන්
ආදරණීය මවුනි....


09 JUNE 2018