සිප්සයුර

ජනප්‍රිය සංස්කෘතිය
   
                සමාජයක් හඳුනා ගැනීමේදී බලපාන කරුණු අතර සංස්කෘතිය යනු ප්‍රධාන අංගයකි. සමාජය යම් කිසි නීතිරිති ක්‍රමයක් අනුව ජීවත්වන පුද්ගල සමූහයකින් සෑදී ඇත.  මිනිසා කෙලින් සිට ගැනීම හෙවත් කායික සමබරතාව, දියුණු මොළයක් පිහිටීම, චර්යාව පාලනය කළ හැකි ස්නායු පද්ධතියක් පිහිටීම, කතා කිරීමේ හැකියාව, සංකේත සංඥා භාවිතයේ හැකියාව, නිර්මාණශීලිභාවය ආදිය සහිත සංකීර්ණ සංස්කෘතියකට හිමිකම් කියයි. මිනසා මෙන්ම සතුන් ද සාමූහිකව ජීවත්වුවද සංස්කෘතියක් ඇත්තේ මිනිසාට පමණි. මිනිසාගේ හැසිරීම යනු සංස්කෘතියේ කොටසක් වනවා පමණක් නොව පුද්ගලයන් අතර, සමූහ අතර, සංස්ථා අතර ඇතිවන මේ සම්බන්ධතා කෙරෙහි සංස්කෘතිය බලපානු ලබයි. සමාජයක ඇති දේ කරන දේ මෙන්ම හිතන දේ ඇතුළත් භෞතික හා අභෞතික සියල්ල සංස්කෘතිය යන්නටය අයත්ය. 
              සමාජයක යහපැවැත්ම සහ අනන්‍යතාව පවත්වා ගැනීම සහ ආරක්ෂා කරගැනීම සමාජයක සුවිශේෂී කාර්යයකි. ඒ සියල්ල සමස්තයක් ලෙස නිරූපණය වන්නේ සංස්කෘතිය තුළය. සංස්කෘතිය යනු සමාජයේ එකඟ වූ ජීවන රටාවකි. එය  සමාජය විසින් එකඟ වූ සාරධර්ම පද්ධතියක් මත ගොඩනැගෙන්නකි. එකී සමාජය විසින් උපයා වර්ධනය කරගත් දැනුම, තාක්ෂණය, හර පද්ධතිය, සිරිත් විරිත්, කලා ශිල්ප යනාදී බොහෝ දේ සංස්කෘතිය තුළ අඩංගු වේ. සංස්කෘතිය යන්න නිර්වචනයට අසීරු සංකීර්ණ සංකල්පයකි. එය පිළිබඳව මානව විශ්ලේෂණාත්මක දෘෂ්ටිකෝණයකින් නිර්වචනයක් ඉදිරිපත් කර ඇත්තේ ඊ.බී. ටයිලර් විිසිනි. ටයිලර් විසින් නිර්මාණය කර ඇති අන්දමට සංස්කෘතිය යනු මිනිසාගේ සමාජීය ජීවිතයයි. මානවයා ශිෂ්ටාචාර ගතවීමත් සමඟ සමාජයේ සාමාජිකයෙකු වශයෙන් එක් කර ගන්නා ලද භෞතික හා අභෞතික දේවල් වේ. පුද්ගල ආකල්ප, සිරිත්, විරිත්, ජනවහර, ගණචාර වැනි අභෙතික දේත් සංස්කෘතියන්නෙහි අන්තර්ගත වේ.
ඔහුට අනුව සංස්කෘතිය ගතික, අඛණ්ඩ ක්‍රියාවලියකි. මානවයාගේ බුද්ධිවර්ධනයත් සමඟ සංස්කෘතියට නව දෑ එක් වේ.  
         1963 දී ක්‍රෝබර් සහ ක්ලක්හොන් සංස්කෘතිය පිලිබඳ නිර්වචන සිය ගණනක් සොයා ගන්නා ලදී. ඔවුන්ට අනුව සංස්කෘතිය චර්යාවන්ගේ ගවේෂණයක් හෝ චර්යාවක් නොව එහි සමස්ත සංයුතියයි. සංස්කෘතියේ කොටසක් ලෙස චර්යාවේ ප්‍රමීතින් හා ධර්මතා අඩංගු වේ. අනෙක් කොටස චර්යාවේ තෝරාගත් මාර්ග හා සංකල්ප වේදයක් ලෙස ඔවුහු පෙන්වා දෙති. සංස්කෘතිය යන පදයට නිශ්චිත, ඒකීය අර්ථ නිරූපණයන් නොමැත. “ජනප්‍රිය සංස්කෘතිය” “මුහුන් සංස්කෘතිය” “ගෝලීය සංස්කෘතිය” “අන්තර් සංස්කෘතිය” “ජාතික සංස්කෘතිය” “සංස්කෘතික ගැටුම” ආදී වශයෙන් සුලබ වැකි සහ සමුද්දේශ අසිමීත සංඛ්‍යාවක් ඒ හා බැඳී ඇත.මෙකී සංස්කෘතියේ විකාශනයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූ ජනප්‍රිය සංස්කෘතිය සමාජ අන්තර් ක්‍රියා ඔස්සේ ගොඩනැගෙන සමාජයීය තත්ත්වයකි. අඛණ්ඩ ක්‍රියාවලියකි. ජනප්‍රිය  යන්නෙහි වචනාර්ථය “ජනයා අතර ප්‍රිය වූ ජනයා සමග වැඩෙන” වශයෙන් සරලව දැක්විය හැකිය. 14 හා 16 වන සියවස් අතර කාලයේ පුරාණ ග්‍රීසියේ පුනරුද යුගයේ සිට ජනප්‍රිය සංස්කෘතිය යන්න හඳුනාගෙන තිබේ. විශේෂයෙන්ම 1950, 1960 වැනි දශක වල ජනමාධ්‍යයන්ගේ ව්‍යාප්තියත් සමඟ සමාජයේ සංස්කෘතික ගමන්මග වෙනස් වන්නට විය. මේ වෙනස්වීම පිළිබඳ සමාජ මානව විද්‍යාඥයෝ විවිධ පර්යේෂණ කරන්නට වූහ. ජනප්‍රිය සංස්කෘතිය හඳුනා ගන්නට විවිධ අර්ථ කථනයන් කළහ. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස ජනප්‍රිය සංස්කෘතිය යන්න භාවිතයට පැමිණ තිබේ.
        හිඩෙටොසි කාටො නැමැති සමාජ පර්යේෂකයා සඳහන් කරන ආකාරයට ජනප්‍රිය සංස්කෘතිය යනු සංස්කෘතියට දී ඇති තවත් නමක් බව සඳහන් කරයි. ඔහු දක්වන්නේ න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව බලන කළ ජනප්‍රිය සංස්කෘතිය එක් සංස්කෘතියක් ලෙස සැලකිය හැකි බවත් එහි ඉතිහාසය මානව සමාජයේ ආරම්භය දක්වා දිවෙන බවත්ය. නූතන සමාජයේ ජීවත්වන තරුණ මහ`ඵ වැඩිහිටි කා හට වුවද අත්විඳිය හැකි එමෙන්ම පහසුවෙන් හා අවම වියදමින් නිර්මාණය කළ හැකි සංකල්පයකි. එනිසා සමාජ ප්‍රගතිය ඇති කිරීමේ දී  භාවිත කළ හැකි උපක්‍රමයක් ලෙස ජනප්‍රිය සංස්කෘතිකාංග යොදා ගත හැකිය.  
                         මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම එක් එක් යුගවල තිබූ සංස්කෘතිය සමගාමීව ගමන් කරයි. පවතින සංස්කෘතිය වෙනස් වෙමින් නව සංකල්ප හා අදහස් එකතු වේ. මෙය සංස්කෘතික විසරණයේ ප්‍රතිඵලයකි. ඒ අනුව ජනප්‍රිය සංස්කෘතිය සංස්කෘතිය පිළිබඳ විවිධ මතවාද ඉදිරිපත් කරන දේශීය විදේශීය විචාරකයෝද ජනප්‍රිය සංස්කෘතිය විරෝධාකල්ප සංස්කෘතිය, ඕලාරික සංස්කෘතිය ,පීචං සංස්කෘතිය,ආදී වශයෙන් අර්ථ දක්වන්නට පෙළඹී සිටිති. තෝමස් ආර් ගිබ්ලින් නමැති සමාජ පර්යේෂකයා ජනප්‍රිය සංස්කෘතිය සමාජය තුළ  ජීවත්වන  සියලුදෙනාගේම සංස්කෘතිය බව දක්වයි. ජනප්‍රිය අංගයන් මිනිසා  මිලදී ගන්නා භෞතික, අභෞතික භාණ්ඩ හා සේවා හා හිතන ඇදහැලි විශ්වාස ඔස්සේ ද ව්‍යාප්ත වේ. ඓතිහාසික පර්යේෂණ මගින් කරුණු දක්වන ගිබිලින් ජනප්‍රිය සංස්කෘතිය යටතේ ජනප්‍රිය සංගීත, බාල කඩදාසියේ මුද්‍රිත කලාවන්, ටෙලිනාට්‍ය වීඩියෝ පට සිට ඉවත දමන්නා වූ රේසරය දක්වා  නිෂ්පාදනයන් පිළිබඳව අවධානය යොමු කර තිබේ. ප්‍රාග් මාක්ස්වාදී දාර්ශනිකයෙකු වන සෙන්ට් සීමොන් ජනප්‍රිය සංස්කෘතිය යනු කිසියම් සමාජයක මූලිකම අංගයක් බව පවසයි. සාමාජයක මුල් බැසගත් උරුමයන්, දේශපාලන වෙනස්කම් බලපෑමක් නොවන අතර ජනප්‍රිය සංස්කෘතියේ අන්තර්ගතය තුළ දක්නට ලැබෙන වෙනස්කම් දේශපාලන පද්ධතිවල දැකිය හැකි වේ. මෙහි මිනුම වන්නේ සමාජ සංස්ථාව තුළ ඇති උචිත වන්නේය යන ස්වභාවයයි. මාධ්‍ය පර්යේෂණ අනුව විමසා බැලීමේ දී ජනප්‍රිය සංස්කෘතිය කෙබඳු වුවක් ද යන්න හඳුනාගත හැකිය. . ජනප්‍රිය සංස්කෘතිය මැවීමේදී ජනමාධ්‍යයේ ඍජු බලපෑමක් සිදු වේ. අප සමාජයේ වඩාත් නිර්මාණශීලි අංග බිහිවී ඇති අතර ඒවා සම්මතයන්ට විකල්ප ලෙස ගොඩනැගී ඇත. නිර්මාණශීලි සන්නිවේදන මාර්ග  බිහිවීම  නිසා පසුව ග්‍රාහක පිරිසක්ද දැකිය හැකිය. මෙම ග්‍රාහක පිරිසගේ සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය වන බව දේශීය විද්වතුන්ගේ අදහසයි. විනෝදාස්වාද සංකල්පයට බෙහෙවින් නැඹුරු වූ, අල්ප වශයෙන් බුද්ධිය අවනත, නිර්මාණාත්මක බවත් යුක්ත වූ ,ආකෘතික ලක්ෂණ ඇති, කෘති සමුදායක් වශයෙන් ජනප්‍රිය සංස්කෘතිය යන්න ජන සන්නිවේදන අවබෝධය නමැති කෘතියේ සඳහන් වේ.
                       කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූ ජනමාධ්‍ය ව්‍යාප්තියත් සමග 19 වන සියවස අගභාගයේදි ජනප්‍රිය සංස්කෘතිය ප්‍රභවය වී යැයි මතයක් පවතී. ග්‍රීක නාට්‍ය කලාවන්ගේ ප්‍රභවය අධ්‍යයනය කිරීම ජනප්‍රිය සංස්කෘතියේ උපත පිළිබඳ යම් ඉලක්කයක් සපයයි. 
ඒ අනුව බලන කල 13, 14 ශතවර්ෂ දක්වා ඈතට දිවයන සංකල්පයක් බව පැහැදිලි වේ. තෙස්පීස් විසින් අරඹන “එක්න`ඵ නාට්‍ය” මීට නිදසුනක්  සපයයි.   ජනප්‍රිය  සංස්කෘතිකාංග විද්්‍යුත් මාධ්‍යයට අමතරව වෙනත් නූතන හා සම්ප්‍රදායික කලාංග වලට අයත්වන එමෙන්ම ඓතිහාසික විකාශනයක් ඇති සංස්කෘතික අංග ත්‍රිත්වයක් දැකිය හැකිය. එනම්,  
1. මෝස්තර හා සැරසිලි 
2. විනෝදාස්වාදය හා මාර්ග  
3. විකට චිත්‍ර කතා 
ජනප්‍රිය සංස්කෘතිය යනු සීමිත පංතියකට පමණක් සීමා වූ දෙයක් නොවේ. ඒවා බහුතර ජනතාවක් රස විඳින ජීවිතයට හා පැවැත්මට  බලපාන සහ ගෝචර වන ඕනෑම දෙයක් විය හැකිය.  උදාහරණ ලෙස ක්‍රිකට්, නව විලාසිතා, නව සංගීත රටා, තාක්ෂණික ප්‍රමිතීන්, පුද්ගල චර්යාවන් වැනි දෑ සඳහන් කළ හැකිය. මෙම තත්ත්වය කලාව කේන්ද්‍ර කොටගත්තක් පමණක් නොවේ. එය සමාජ මානව විද්‍යාත්මක ප්‍රවණතාවක් ලෙස ද හඳුනාගත හැකිය. ජනප්‍රිය සංස්කෘතිය පොදු ජනතාවගේ  කලාවක් බවට පත්වූයේ සමානව කලාකරුවන්ගේ දක්ෂතාවන් ඇගයීමට ලක් නොකිරීම හේතුවෙනි. කලාකරුවන් ලෙසත් සම්භාව්‍ය කලාකරුවන් ලෙසත් තමන්ගේ නිර්මාණ උසස් මට්ටමෙහිලා සැලකීමට මෙරට විද්වතුන් කටයුතු කළ යුතුය.  මෙම තත්ත්වය ප්‍රබුද්ධ නොවූ කලාකරුවා සහ  දුරස් කර තැබීමට හේතු වූ බව විචාරක මතයයි.  විදග්ධ කලාව තුලින් සමාන්‍ය කලාකරුවා පසෙකට තල්ලුවීම නිසා ඔවුන්ට ආවේණික කලාවන් හා සංස්කෘතින් බිහිවිය. එමෙන්ම පොදු ජනතාව අතරින් මතු වූ කලාකරුවාට ජනමාධ්‍ය තුළ ඉඩකඩ සීමිත විය. මෙබඳු ප්‍රවණතාවයන් නිසා ජනප්‍රිය සංස්කෘතිය යන්න ලොව ඇසුරු කර ගනිමින්  නිර්මාණය වූ සමාජ රිද්මය බවට තරුණ සමාජය අතර ප්‍රකට විය. 

7 comments: