Thursday, June 21, 2018

භාරතීය දේශපාලනය හා දේශපාලන පක්ෂ 
   
    ඉන්දියාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ෆෙඩරල් ව්‍යවස්ථාමය සමූහාණ්ඩුවකි. එය ප්‍රාන්ත 28 කින් සහ මාධ්‍ය පාලන ප්‍රදේශ 7 කින් සමන්විතය. ඉන්දියාව යනු ඉන්දියාවේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වුද ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා  රජයේ ප්‍රධානියා වන්නාවූ ද ෆෙඩරල් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් වන බැවින් ඉන්දියාවේ දේශපාලනය සිදු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරවය. ඉන්දියාව විසින් ද්විත්ව ආණ්ඩුක්‍රමයක් එනම් මධ්‍ය සංගමයක් ද පර්යන්තයේ ප්‍රාන්තද අඩංගු ද්විත්ව රජයක් පවත්වාගෙන යයි. මධ්‍යම හා ප්‍රාන්ත රජයන් යන ද්විත්වයෙහිම සංවිධානය, බලතල හා සීමාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් අර්ථ දක්වා ඇති අතර එය ලිඛිත දෘඪ සහ උත්තරීතර යැයි සැලකේ. එනම් ජාතියෙහි නීති එය පරිදි විය යුතුය. ඉන්දියානු ෆෙඩරේෂනයෙහි ප්‍රාන්තයන් නිරූපණය කරන උත්තර මන්ත්‍රී මණ්ඩලයක් ද එනම් රාජ්‍ය සභා සමස්තයක් වශයෙන් ඉන්දියාවේ ජනතාව නිරූපණය කරන පහළ මන්ත්‍රී මණ්ඩලයක්ද එනම් ලෝක සභාව වෙතින් සමන්විත ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයන් සඳහා අවකාශයක් සපයා ඇත. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ස්වාධීන අධිකරණයක් සපයන අතර එහි අග්‍රස්ථය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. මෙම අධිකරණය වෙත පැවරී ඇති විධි නියෝගය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක ගැනුම, මධ්‍යම රජය සහ ප්‍රාන්ත අතර ඇතිවන ආරවුල් සමථයට පත් කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන කිසියම් මධ්‍යම හෝ  ප්‍රාන්ත නීති ඥාන්‍ය කිරීම වේ.
     ඉන්දියාව ලොව බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පවතින රටවල් අතුරින් විශාලතම ජනගහනයකින් යුත් රාජ්‍යය වේ. තවද එහි විවිධ ජනවර්ගවල පුද්ගලයෝ වෙසෙති. එහෙයින්ම එරට විශාල දේශපාලන පක්ෂ ප්‍රමාණයක් තිබීම සාමාන්‍ය දෙයකි.ඉන්දියාවේ දේශපාලන පක්ෂ ප්‍රධාන වර්ගීකරණ දෙකක් යටතට වර්ග කෙරේ. එනම් ජාතික දේශපාලන පක්ෂ සහ ප්‍රාන්ත දේශපාලන පක්ෂ යනුවෙනි. නමුත් එසේ වර්ගීකරණයට සියලු පක්ෂ සුදුසුකම් ලබන්නේ නැත. ඒ සඳහා විවිධ සුදුසුකම් සම්පූර්ණ කළ යුතුය.මෙසේ සුදුසුකම් ලබන පක්ෂවලට නිත්‍ය ඡන්ද ලකුණක් හිමිවන අතර මැතිවරණවලදී රූපවාහිනී, ගුවන්විදුලි කාල සීමා ආදිය සඳහා ද සුදුසුකම් ලබයි.වර්තමානයේ ඉන්දියාවේ ජාතික පක්ෂ ලෙස සුදුසුකම් ලැබූ පක්ෂ හතක් සහ ප්‍රාන්ත පක්ෂ ලෙස සුදුසුකම් ලද පක්ෂ 48 ක් වෙති.ජාතික පක්ෂයක් ලෙස සුදුසුකම් ලැබීමට නම් යම් දේශපාලන පක්ෂයක් පහත කොන්දේසි එකක් හෝ සපුරා තිබිය යුතුය.

එම පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාවේ ආසනවලින් සියයට දෙකක් හෝ ඊට වැඩියෙන් හෝ දිනාගත යුතුය. තව ද එම ආසන සංඛ්‍යාව ප්‍රාන්ත තුනක් අතරවත් බෙදී ගොස් තිබිය යුතුය. (එක ප්‍රාන්තයකින් පමණක් ආසන විශාල ප්‍රමාණයක් දිනා ගැනීම ප්‍රමාණවත් නොවේ)
ලෝක් සභා මැතිවරණයකදී හෝ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක මැතිවරණවලදී ප්‍රාන්ත හතරකවත් සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 6 බැගින් ලබා ගැනීම සහ ලෝක් සභා ආසන 4 ක් වත් හිමි වීම.
ප්‍රාන්ත පක්ෂයක් ලෙස අවම වශයෙන් ප්‍රාන්ත හතරකදී සුදුසුකම් ලැබීම.
ප්‍රාන්ත පක්ෂයක් ලෙස සුදුසුකම් ලැබීමට පහත සඳහන් කොන්දේසි එකක් හෝ සපුරාලිය යුතුය.
එම පක්ෂය ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවේ ආසනවලින් සියයට තුනක් හෝ ආසන තුනක් හෝ දිනාගත යුතුය.
ප්‍රාන්තයෙන් තේරී පත්වන ලෝක් සභා මන්ත්‍රීන් අතුරින් සෑම 25 දෙනකුටම එක් මන්ත්‍රීවරයකු බැගින් අවම වශයෙන් තේරීපත් විය යුතුය.
ලෝක් සභා මැතිවරණයක සහ ප්‍රාන්ත සභා මැතිවරණයකදී ප්‍රාන්තයේ සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට හයක් දිනාගැනීම සහ ලෝක් සභා ආසන එකක් හා ප්‍රාන්ත සභා ආසන දෙකක් අවම වශයෙන් දිනා ගත යුතුය.
කිසිදු ආසනයක් දිනා නොගත්තත් ප්‍රාන්තයේ සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් අවම වශයෙන් සියයට අටක් ලබා ගත යුතුය.


ඉන්දියාවේ ජාතික දේශපාලන පක්ෂ ලෙස සුදුසුකම් ලබා ඇති පක්ෂ හත පහත දැක්වේ. (පැරණිම පක්ෂයේ සිට නවතම පක්ෂය දක්වා පිළිවෙලට)
1. ඉන්දියානු ජාතික කොන්ග්‍රසය (ආරම්භය 1885)
2. ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (ආරම්භය 1925)
3. ඉන්දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (ආරම්භය 1964)
4. භාරතීය ජනතා පක්ෂය (ආරම්භය 1980)
5. බහුජන සමාජ් පක්ෂය (ආරම්භය 1984)
6. සමස්ථ ඉන්දියානු ත්‍රිනමූල් කොන්ග්‍රසය (ආරම්භය 1998)
7. ජාතිකවාදී කොන්ග්‍රස් පක්ෂය (ආරම්භය 1999)
                 

2 comments: