සිංහල ගද්‍ය සාහිත්‍යයේ ප්‍රභවය හා විකාශය
සිංහල ගද්‍ය සාහිත්‍යයේ ප්‍රභවය හා විකාශය පිළිබඳ විමසීමේදී එහි ආරම්භක යුගය වන විජයාවතරණයේ සිට කරුණු සාකච්ඡා කළ හැකිය. එනම් ප්‍රාග් මහින්ද යුගයයි. මේ යුගයේදී යම් තරමකට දියුණු වූ ලේඛන කලාවක් හා අධ්‍යාපන ක්‍රමයක් පැවතිණි. ලංකාවේ ශිලා ලේඛන යුගය ආරම්භ වන්නේ ක්‍රි.පූ 2 වන සියවසේ සිටය. එහෙත් එයට ප්‍රථමව ද සිංහලයන් සතු ලේඛන ක්‍රමයක් පැවති යැයි සිතිය හැකිය.
“දැනට විද්‍යමාන මූලාශ්‍ර අනුව ක්‍රි.පු. 6 වන සියවසේ දී විජය කුමරු ලක්දිව පැමිණි කාලයෙහි යම්කිසි ලේඛන ක්‍රමයක් පැවති බව හඳුනා ගත හැකිය. විජය කුමරුටත් සෙස්සන්ටත් බිරියන් පතා පඬුරු පාක්කුඩම් සහිත හසුන්පත් දී මථුරාපුරයට රාජ දූතයන් යැවු බව ද එම ලිපියට පිළිතුරු හසුන්පත් ලැබුණු බව ද මහාවංශය කියයි. තවද, විජය රජුගෙන් පසු රාජ්‍යය ලැබීමට සමත් පුතෙකු නොවු බැවින් වගුරට තම සොයුරු සුමිත්ත කුමරුට ලක්දිව පැමිණ රාජ්‍යය ලබා ගන්නා මෙන් දන්වා හසුන්පත් ද යැවු බව එහි සඳහන් වේ.”
(අමරවංස නාහිමි, 2001, 195 පිට.)
“අථා මව්වෙහි මනතෙතවා - ලෙඛං තත්‍ථ විසජ්ජයි
ලේඛං දත්‍වාන විජයෝ - න චිරෙන දිවංගතො”
මහාවංශය හා පාලි අට්ඨ කථාවලට අනුව දුටුගැමුණු සමයෙහි රට පුරා බහුශ්‍රැත භික්‍ෂූන් බොහෝ ගණනක් විසී ය. ඒ අතර රෝහණ ජනපදයෙහි තලංගාර තිස්ස පබ්බතවාසි ධම්මදින්න හිමියන් සහ මලියදේව හිමියන් විශේෂ වේ. එක් එක් ධර්ම ශාලාවක ධර්ම පුස්තකය බැගින් තැන්පත් කර තිබීමෙන් එකල භික්‍ෂූන් අතර තිබු ග්‍රන්ථඥානය පිලිඹිබු වේ. තම සිතැගි ලිවීමට හා කියවීමට ඇති හැකියාව මෙන් ම ධර්ම කරුණු ද මෙකල ග්‍රන්ථාරූඪ වී තිබිණි. මෙලෙස කෘති රචනා වීමට භාෂාවක් සහ ගද්‍ය හෝ පද්‍ය රචනා ශෛලියක් යම් තරමක් හෝ නිර්මාණය වී තිබිය යුතුය. ධර්ම ග්‍රන්ථ ලිවීමට තරම් මෙකල දක්‍ෂ කතුවරු සිටීමෙන් ග්‍රන්ථකරණය පිළිබඳ ඔවුන් තුළ තිබු උනන්දුවත් ඒ අනුසාරයෙන් ක්‍රමයෙන් ගද්‍ය රචනා ශෛලියක් සකස් වූ අයුරුත් දැක්වේ.
“සිංහල ගද්‍යය ප්‍රභවය ලැබු අවස්ථා ගණනාවකි. ක්‍රි.පූ 3වන සියවසේ දි උත්තිය කුමරු කැළණිතිස්ස රජුගේ බිසවකට රහස් ලියුමක් දී පැවිදි වෙස් ගත් මිනිසකු අත යැවූ බව මහාවංශයේ විස්තර කෙරේ. කි.පූ 1 වන සියවසේ එනම් වළගම්බා සමයෙහි තිස්ස නම් බමුණකු ඡත්‍රය ඉල්ලා වළගම්බා රජුට හස්නක් යැවු බව මහා වංශයේ 33 වන පරිච්ඡේදයේ 40,41 ගාථාවල සඳහන් වන අතර ඒ රජු වෙස්සගිරි විහාරවාසි කුත්‍ථික්කුල හිමියන්ට වැටකේ පතක් ලියා සංඝාවාසයක් පරිත්‍යාග කළ බව ද දැක්වේ.”
(අමරවංස නාහිමි, 2001, 195 පිට.)
මේ රජ සමයේදී ම භික්‍ෂූන් වහන්සේලා කටපාඩමින් පවත්වාගෙන ආ ත්‍රිපිටකය ලේඛනාරූඨ කරවා ඇත. ධර්ම ග්‍රන්ථ රචනා වීමට නම් ලේඛන භාෂාවක් සකස් වී තිබිය යුතුය. මහාවංසය දක්වන මෙම තොරතුරුවලින් පැහැදිලි වන්නේ ආරම්භක යුගයේ ම සිංහල ගද්‍යය ශෛලිය සකස් වීමට අවශ්‍ය පදනම සැකසුණු බවකි. ක්‍රි.පූ 3 වන සියවස්වල ලේඛන කාර්යය උදෙසා භාවිත කළ භාෂාව හැඳින්වෙන්නේ ‘සිංහල ප්‍රාකෘති’ යනුවෙනි. ඒවා බ්‍රාහ්මීය අක්‍ෂර විශේෂයකි. ප්‍රාග් බෞද්ධ යුගයේ ලියන ලදැයි සැලකෙන අක්‍ෂර සටහන් ඇති වළං කැබලි කීපයක් මෑතක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සොයා ගැනීමෙන් මිහිදු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කළ යුගයේ මෙරට සිංහල ලේඛන ක්‍රමයක් තිබුණු බව හෙළි වේ. ශිලා ලිපි ආශ්‍රිතව ගද්‍ය පිළිබඳ කරුණු විමර්ශනය කිරීමේ දී පුරාතන ලංකාවේ තිබුනා යැයි සැලකෙන, දැනට හමුවන ලිපිවලින් එකදු ලිපියක් හෝ දේවානම්පියතිස්ස රජුගේ (ක්‍රි.පූ 250-210) කාලයට වඩා පැරණි බවක් තවම සොයා ගෙන නැත.
“දැනට සොයා ගෙන ඇති බ්‍රාහ්මී ලේඛන අතුරින්, පැරණිතම උදාහරණය වශයෙන් සලකනු ලබන්නේ, මිහින්තලේ ලෙන් කටාරමක කොටා ඇති ‘ගමණි උතිමහරජ’ යන වාක්‍යය සඳහන් ලිපියයි. මෙහි සඳහන් වන්නේ දේවානම්පියතිස්ස රජුගෙන් පසුව රජ පැමිණි ඔහු සොහොයුරු උත්තිය රජු බව නිගමනය කළ හැකි ය. ගල්ලෙන්වල කොටා ඇති පැරණිතම ලේඛනයන්හි බහුල ලෙසින් දක්නට ලැබෙන වාක්‍යය නම්, මුල් කාලින ගද්‍ය රචනා ලෙස ගත හැක්කේ, “අගත අනගත චතුදිශ ශගශ දිනේ” යන්නයි. ”
(සන්නස්ගල, 1994, සසස පිට)
දියුණු ලේඛන ක්‍රමයක් දුරාතීතයේ සිංහලයා අත පැවතුණු බව ක්‍රි.ව. 6 වැනි සියවසේ සිට දක්නට ලැබෙන සීගිරි ගී වලින් හඳුනා ගත හැකි ය. ක්‍රි.ව.10 වන සියවසින් ඔබ්බෙහි සිංහල ගද්‍ය සාහිත්‍යයක් සකස් කිරීමට අවශ්‍ය පසුබිම සකස්ව තිබුණු බ්‍රාහ්මි අක්‍ෂර වලින් පෝෂණය ලබා සහ ආන්ධ්‍රා, පල්ලව ආභාශයන් ලබා මෙරට අක්‍ෂර බිහිවීමත් මෙයට හේතු විය.
ක්‍රි.පූ 3 වන සියවසේ සිට අඛණ්ඩ විකාශයක් දැක්විය හැකි ලිඛිත සම්ප්‍රදායක් සිංහලයා සතුව පවති. දෙවනපෑතිස් යුගයේ සිට ම ලක්දිව පොත් පත් ලියා ඇති බවට සාක්‍ෂය තිබුණ ද දැනට ශේෂව ඇත්තේ ක්‍රි.පූ. 10 වන සියවසේ සිට ලැබු පොත්පත් කිහිපයක් පමණි. එහෙත් ක්‍රි.පූ. 3 වන සියවසේ ලියැවුණු ශිලා ලේඛන සමූහය එම අඩුව බොහෝ සෙයින් සපුරාලනු සමත්ය. මේවා සිංහල ගද්‍ය භාෂා ඉතිහාසය හැදෑරීමේදි හමුවන ප්‍රබල ලිඛිත සාධක ලෙස ද සැලකේ. අශෝක කාලයේ ලංකාවේ හා ඉන්දියාවේ ලියැවුණැයි සිතන සෙල්ලිපි සංසන්දනය කිරීමෙන් තත් කාලයේ භාරතයේ පැවති බසත් ලංකාවේ පැවති බසත් අත්වැල් බැද තිබූ බව සිතා ගත හැකිය. සිංහල ගද්‍ය පෝෂණය වීමට අවශ්‍ය මූලික අඩිතාලම මිහිදු හිමි ලංකාවට වැඩම කිරීමට ප්‍රථමව ද සකස් වුව ද වඩාත් පිළිගත හැකි ගද්‍ය සාහිත්‍යයකට මූලික පදනම මහින්දාගමනයෙන් පසුව සැකසුණි. භාරතයේ තිබුණා වු රචනා ශෛලීන්, උගෙන සිට මිහිදු හිමි ලංකාවට වැඩම කිරීමෙන් පසු ලංකාවේ වැඩි වර්ධනය කිරීමට යෙදුණු ගද්‍යය ද භාරතීය සෙවනැල්ල ලැබුණි. මීට සාධක තත් යුගයේ ශිලා ලිපි ආශ්‍රයෙන් හඳුනා ගත හැකිය.
ලංකාවේ ව්‍යවහාර භාෂාව සිංහල වූ නිසා මිහිදු හිමි මෙරටට ගෙන ආ පාළි ධර්මය සිංහලයන්ට සිංහලයෙන් ඉගැන්විය යුතු විය. මේ නිසා බුද්ධ ධර්මයේ භාෂාව පාළි ලෙස ගරු කර ලංකාවේ ජනයාට වැටහෙන සිංහල භාෂාවෙන් ධර්මය දේශණා කෙරිනි. දෙසීම දහම් ඇස්වීමේ ක්‍රමය වු අතර, ලිවීම දහම් ඉගැන්වීමේ මාර්ගය විය. ඉගැන්වීම සඳහා මෙකල භාවිත වූ ක්‍රමයකි ව්‍යාඛ්‍යාකරණය. මෙය වේද සාහිත්‍යයෙහි පවා ඒ ඒ බසින් පැහැදිලි කිරීමට ද යොදා ගත් උපක්‍රමයකි. මෙලෙස පාළි ධර්මය හෙළබසින් ඉගැන්වීමේ මුලික පියවර ලෙස ඒවාට අරුත් බිනීම නිසා සන්න - ගැටපද අටුවා පොත් බිහි විය.
“සිංහල සන්න - ගැටපද බිහිවීමට පෙර ගණ්ඨිපද නමින් පාලියට පාළි භාෂාවෙන් ම නිපදවු විස්තර ව්‍යාඛ්‍යයාන ගණයක් තිබී ඇත. හෙළ සන්න - ගැටපද නිපැයීමට පෙර ගණ්ඨිපද නමින් පාලියට පාලියෙන් ම නිපදවු විස්තර ව්‍යඛ්‍යාන ගණයක් විය. ඒවා චූල, මජ්ඡිම, ලෙසින් හඳුන්වා තිබේ. අනතුරුව පාලි පොත්වලට ලියැවී ආ ටීකා පොත් ගණයක් වේ. ඒ කාලයේදී ම සකු පොත් සඳහා ලියැවී ආ සකු ටීකා, පාලි ටීකාවන්ගේ උදාවට හේතු විය. මූලික පොත් පහසුවෙන් ඉගෙනීම ඒ ටීකා බිහි විමේ හේතුවයි.”
(සන්නස්ගල, 1994, සස පිට)
මහින්දාගමනයෙන් පසු ලියවණු ග්‍රන්ථ ‘හෙළටුවා’ ලෙස හැඳින්වෙයි. සීහලට්ඨ කථා යන නමින් ද මෙම ග්‍රන්ථ හැදින්වෙයි. මෙම ග්‍රන්ථ ක්‍රි.ව. 5 වන සියවසේ දී බුදුගොස් හිමියන් විසින් සම්පාදනය කරන ලද සමාන්තපාසාදිකා ආදි පාලි අට්ඨකථාවන්ට ද මුලාශ්‍රය විය. හෙළ බසින් ම ධර්මදේශනා කොට බදු සසුන පිහිටුවා පෙළටුවා (පාලි අට්ඨකථා) සිංහලයට පෙරළා ලක්දිව බුදු දහම ස්ථාපනය කළ බව මැදුම් සඟී, සංයුත් සගි අට්ඨකථා රචිත බුද්ධඝෝෂ හිමියන් සඳහන් කරති.
ෂග මහා අට්ඨකථා
ෂෂග මහා පච්චරි අට්ඨකතා
ෂෂෂග කුරුන්දි අට්ඨකථා
යනාදි වහයෙන් නාම මාත්‍රිකව ඉතිරි වී ඇති අටුවාවලට සිංහල භාෂාවෙන් රචනා කරන ලද බව, බුදුගොස් හිමි නිගමනය කරයි.
“මහා අට්ඨකතා චෙව- මහපච්චරි මෙවච
කුරුනිදං චිපි තිස්සොපි - සිහළට්ඨකථා ඉමා”
(ධම්මාලෝක හිමි,1964, 147පිට)
ලෙසින් පැහැදිලි වන්නේ සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ ආරම්භය පරිවර්තන ස්වරූපයක් ගත් බවයි. මුලදී මගධ බසින් පැවති බුදුදහම මිහිඳු හිමියන් හෙළ බසට පරිවර්තනය කළත් බුදුගොස් තෙරණුවෝ එකී හෙළබසින් පැවති බුද දහම හෙළ බසට පරිවර්තනය කළහ. බුද්ධඝෝෂ හිමි කල මෙම පරිවර්තන කාර්යය නිසා පාලි භාෂාව නොදත් ශ්‍රී ලාංකේය බෞද්ධයෝ අසීරුතාවයට පත් වූහ. මෙම අසීරුතාවයෙන් ගලවා ගැනීමේ අරමුණින් අටුවාචාරීහු සන්න ගැටපද, අටුවා, ව්‍යඛ්‍යානාදි නව සාහිත්‍යාංග රැසක් සිංහල සාහි්‍යතයට එක් කළහ.
සිංහල සාහිත්‍යය සන්න - ගැටපද නොහොත්, ව්‍යාඛ්‍යාන එකතු වීමට බලපෑ හේතු මගින් අනාවරණය කෙරේ. මෙම ග්‍රන්ථ සිංහල ගද්‍ය සාහිත්‍යයේ ආරම්භ පිළිවෙලද අනාවරණය කරයි. ගද්‍යයේ ප්‍රභවය හා විකාශය පිළිබඳ විමසීමේදි ගද්‍යයේ දියුණුව ආවේ පොළොන්නරු දඹදෙණි යුගවල දී බව මින් ගම්‍ය වේ. සැලකිය යුතු ප්‍රමාණයක් කුරුණෑගල, ගම්පොළ යුගවල දි ගද්‍යයේ ප්‍රභාවක් දක්වයි.
මිහිඳු හිමි මෙරටට වැඩම කොට අත්තිවාරම් දැමූ සිංහල ගද්‍ය සාහිත්‍ය ඉන්දු සාහිත්‍ය යුගවලදි විවිධාකාරයෙන් පෝෂණය වන්නටත් දියුණු වන්නටත් විය. ආරම්භක යුගවල දි බුද්ධ ධර්මය ම පාදක කරගත් ගද්‍ය රචනය පසු කල වන විට වෙනස් මාර්ග කරා යොමු වන්නට විය. එසේ ම භාෂාව, වර්ණනා ක්‍රම මෙකල සිටි බහුශ්‍රැත ග්‍රන්ථදර උගත්තු නිසා වර්ධනය විය. එසේම වෙනත් ග්‍රන්ථ ඇසුරු කිරීම නිසා එම ග්‍රන්ථාදර හා භාෂාන්තර ඥාණයෙන් මෙරට කෘති පෝෂණය විය. විශේෂයෙන් ම දුර්ලබ වූ මේ යුගය අමාවතුර, විද්‍යාචක්‍රවර්තීගේ බුත්සරණ පසුකාලීන ගද්‍ය රචනය කෙරෙහි ප්‍රබල ලෙස බලපෑ හෙයින් ඒ ආභාෂයෙන් පසුව ගද්‍ය රචනයේ ශෛලියේ රීතිය ආදිය විවිධ මාර්ග කරා යොමු වූ බවද හඳුනා ගත හැකිය.