Friday, August 3, 2018

           සෝප් ඔපෙරා ප්‍රවණතා




   වත්මන් සමාජයේ පුද්ගල ආකල්පවලට බලපෑම් කිරීමට ඇති බලවත්ම මෙවලම සෝප් ඔපෙරා ලෙස සැලකේ. එය දේශපාලනික ප්‍රචාරක ව්‍යාපාරයකටත් වඩා බලවත් වූවකි. සෝප් ඔපෙරා විශ්ව ප්‍රජාවගේ සමාජ ජීවිතවලට බෙහෙවින් බලපායි. සමාජයේ එක්‌තරා පරාවර්තනයක්‌ ලෙස ද සෝප් ඔපෙරා සැලකේ. සෝප් ඔපෙරාවේ ඓතිහාසික ප්‍රවාහය ඇමරිකානු හා බ්‍රිතාන්‍ය මාධ්‍ය ක්‍ෂේත්‍රයෙන් ආරම්භ වන්නකි. ඔපෙරා යනු බටහිර ඉපැරණි ගායන හා රංගනයෙන් සැදි කලා ක්‍රමයකි. සබන් නිෂ්පාදකයන්ගේ මැදිහත්වීමෙන් මාධ්‍ය ක්‍ෂේත්‍රයට පැමිණි මෙම කලා අංශය "සෝප් ඔපෙරා" නමින් හැඳින්විණි. 1978 විනාඩි 15 කොටස්‌වලින් යුත් Amos n Andy පළමු රේඩියෝ සෝප් එක ලෙස සැලකේ. ප්‍රොක්‌ටර් සහ ගැම්බල් සබන් සමාගම සෝප් ඔපෙරා ව්‍යාප්තියෙහිලා මූලික වූ වෙළෙඳ ආයතනයකි. (බලන්න - සමීප රූප, රූපවාහිනිය හා සන්නිවේදනය) දිනපතා විකාශය වන දීර්ඝ රූපවාහිනී කතා මාලාවන් සෝප් ඔපෙරා ලෙස සැලකේ. ඒවායෙහි මූලික ප්‍රභේදය වන්නේ ප්‍රාසාංගික හා විවිධාංක යන දෙ අංශයයි.

සෝප් ඔපෙරා ප්‍රවණතාවයේදී ඇමරිකානු නිෂ්පාදනයන් අපට හමුවන්නේ උද්වේගකර භාවතිශ්‍ය නාට්‍ය ලෙසයි. මෙහිදී අධියථාර්ථවත් රීතියකින් සමාජ සංසිද්ධීන් නිරූපණය කෙරේ. එහෙත් බ්‍රිතාන්‍ය සෝප් ඔපෙරාවල ලක්‍ෂණය වන්නේ යථාර්ථවත් ස්‌වභාවයයි. එහිදී සමාජයේ සාමාන්‍ය සංසිද්ධීන් කතාන්දර ලෙස හමුවේ. ඔස්‌ටේ්‍රලියාවේ සෝප් ඔපෙරා බ්‍රිතාන්‍යයේත් ඇමරිකාවේත් යථාර්ථවත් හා භාවතිය ලක්‍ෂණ දෙකම සහිතව නගරාසන්න සමාජ ජීවිත හසුකර ගත් ලෙස හැඳින්වේ.


සෝප් ඔපෙරා පිළිබඳ වර්ගීකරණය විමසන විට මීට සමානවය භාවාතිශය නාට්‍ය තුළ සදාචාරාත්මක ඩ්‍රැවිකරණය, ප්‍රබල හැඟීම්, කාන්තා දිශානතිය නොසිතූ ලෙස අහඹු සිදුවීම් උද්වේගකර නාට්‍ය මගින් දැකගත හැකි වේ. මීට සමාන අනෙක්‌ ෂෝනරය වන්නේ සාහිත්‍ය ප්‍රේමවෘතාන්තය. මෙවැනි කතාන්දරවල සරල චරිත, කාන්තා දිශානතිය හා කොටස්‌ ආඛ්‍යානය දක්‌නට ලැබේ.


සෝප් ඔපෙරාවන්හි තාක්‍ෂණික ආකෘතිය හැඟීම්බර පැටලිලි හා උච්චස්‌ථානවලින් යුක්‌තය. මෙහිදී පැටලිලි යන්නෙන් පවුල් අතර පුද්ගලයන් අතර ආදර හබ යනාදිය අදහස්‌ කෙරේ. උච්චස්‌ථානය වහ වහා නැගෙන වැටෙන ආඛ්‍යානයයි. කුතුහලය දනවන ඊළඟට කුමක්‌ වේද? යන්න සිත් තුළ ඇති කරයි. එය නරඹන්නා සෝප් ඔපෙරාව කෙරෙහි බැඳ තබා ගැනීමට හේතු වේ. සෝප් ඔපෙරාවක අනෙක්‌ තාක්‍ෂණික ලක්‍ෂණය වන්නේ කතා වස්‌තුව ප්‍රසාරණය කිරීමයි. එහි ඇත්තේ එක කතාවක්‌ නොවේ. කතා ගණනාවකින් යුක්‌තය. සාමාන්‍යයෙන් සෝප් ඔපෙරාවක රේ‚ය කතා හතරක්‌ සමාන්තරව ගලා යයි. අතුරු කතා මගින් සංකීර්ණ සම්බන්ධතා සමූහයක්‌ නරඹන්නා ඉදිරියේ තබයි. අනෙක්‌ තාක්‍ෂණික ලක්‍ෂණය වන්නේ රේ‚ය කතා වස්‌තූන් භ්‍රමණය කිරීමයි. විවිධ දෙසට කරකවමින් කතා ගොඩනැගීම පිළිබඳ මෙමගින් අදහස්‌ කෙරේ.


කෙසේ වුව සෝප් ඔපෙරාවල සතුටින් පිරි අවසානයක්‌ හෝ පරමාර්ශී චරිත දක්‌නට නොලැබේ. බ්‍රිතාන්‍ය සෝප් ඔපෙරා ආඛ්‍යාත සමාජයේ ස්‌වභාවිකත්වය සමඟ බැඳුණු සමකාලීන සමාජ කරුණු පදනම් කොටගත් රීතියකින් යුක්‌තය. එසේම ඒවායෙහි නාට්‍යමය ලක්‍ෂණ වැඩිය. එනිසාම ඒවා නරඹන්නාට බොහෝ දේ උගන්වන්නට උත්සාහ ගනී. එය ද ඉටුකරනුයේ සදාචාරාත්මක සංත්‍රාසයකිනි. එනිසාම ඒවා ගෘහනියන්ගේ ආකර්ෂණිය දිනාගනී. අවිධිමත් ලෙස හා අවධානයෙන් තොරව එවැනි සෝප් ඔපෙරාවක්‌ නැරඹිය හැකි වේ. ඒවායෙහි ඉදිරිපත් කෙරෙන චරිත ආකර්ෂණීය වේ. තේමාව හා චරිත අතර ගලා යැම සහිත නිරවුල් කතා මාලා ඉදිරිපත් කිරීම රටාවක්‌ මේවායෙහි දක්‌නට ලැබේ. විනෝදය, තොරතුරු හා සමාජ අදහස්‌, ආකල්ප යනාදිය එවැනි සෝප් ඔපෙරා තුළින් පොදු නරඹන්නාට හමුවේ.සමාජ බන්ධනය තුළ පවත්නා ව්‍යqහයන් උනුකර දිය හැරීමක්‌ හා සදාචාරාත්මක කඩාවැටීමක්‌ සෝප් ඔපෙරාවක ගැබ්වේ. පොදු සමාජ සම්බන්ධතා දුබලවීම, පුද්ගල විශ්වාසයන් විනාශ වී යැම, සම්බන්ධතා පවත්වාගෙන යැම අසීරුවීම හා පුද්ගල හුදකලාව සෝප් ඔපෙරා ඔස්‌සේ පොදු සමාජයට හා පුද්ගලයාට දායාද කරන වස්‌තූන් වේ. මෙවැනි ප්‍රවණතා සමුදායකින් සමන්විත සෝප් ඔපෙරා කලාවකට වඩා ව්‍යාපාරයක්‌ ලෙසත් සමාජ පෝෂණයට වඩා සමාජ සංචලතාවයට ලක්‌කරන දෛනික ක්‍රියාදාමයක්‌ ලෙස වටහාගත හැකියි. මේ පිළිබඳ අධ්‍යයන පුළුල් විය යුතුය. සෝප් ඔපෙරා අධ්‍යයන මගින් දේශීය මාලා නාටක පිළිබඳ වටහා ගැනීමක්‌ කළ හැකිය.


සෝප් ඔපෙරා නැරඹීම පොදු රූපවාහිනි නරඹන්නන්ගේ ක්‍රමය ගෘහස්‌ථ පුරුද්දකි. අනෙක්‌ අතින් සෝප් නැරඹීමේ පුරුද්ද සමාජ අන්තර් ක්‍රියාවන් ප්‍රකට කරන වේදිකාවකි. දිනපතා බොහෝ මානව අන්තර් ක්‍රියාවන් විවිධාකාරයෙන් නිරූපණය වේ. සෝප් ඔපෙරා නැරඹීමේ ප්‍රවණතාව කෙතෙක්‌ද යන්න විමසන විට පුද්ගලයාගේ දෛනික ජීවිතයේ අවශ්‍යතාවක්‌ ලෙසට එය පත්වී තිබීමෙන්ම පැහැදිලි වේ. විවිධ පුද්ගලයන් සෝප් ඔපෙරාවල චරිත සමඟ අනන්‍යතා ගොඩනගා ගනී. තමන් වගේ හෝ තමන් කැමැති හෝ එවැනි අය සිටි හෝ ආදි වශයෙන් එම අනන්‍යතාව තමන් ස්‌වාධීනව ගොඩනගා ගනී. සත්‍ය ජීවිතයෙන් පලා යැම සඳහා වන මනඃකල්පිතයක්‌ සෝප් ඔපෙරා තුළින් මවා ගැනීමට හැකිය. එසේම එසේ ගොඩනගා ගත් මනඃකල්පිතයේ සිට සෝප් ඔපෙරාවේ ආඛ්‍යානයේ මධ්‍යම සිදුවීම් පිළිබඳ සංවාදයෙහි යෙදේ. එය සිය මනෝරූපය වඩාත් බලසම්පන්න කරයි.


මහාචාර්ය 
ආරියරත්න ඇතුගල

(මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ අභිනව කෘතිය වන "සන්නිවේදන ප්‍රවණතා" නමැති ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.)

No comments:

Post a Comment