වැදි සේනාව
ප්‍රාථමික ජන කොටස් හැඳින්වීම සඳහා ආදිවාසීන් යන්න භාවිතා කිරීම නොමඟ යවන සුළු බවත්, ආදිවාසී සමාජයන් සඳහා ප්‍රාථමික සමාජ යනුවෙන් භාවිත කිරීම වඩා තර්කානුකූල බවත්, මහාචාර්ය ජේ. ඩබ්ලිව්. ඩී. සෝමසුන්දර ප්‍රකාශ කරයි. (සෝමසුන්දර, 2008) ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රාථමික ජන කොටසක් ලෙස 'වැද්දන්' හඳුන්වනු ලබයි. මේ නිසා මෙහිදී ම විසින් ශ්‍රී ලංකාවේ ආදිවාසීන් යනුවෙන් අර්ථකථනය කරනු ලබන්නේ වැදි ගෝත්‍රික සමාජයයි.... වැද්දන් ඔවුන්ව හඳුන්වා ගන්නේ වැද්දන් යන නාමයෙන් නොව 'වන්නිලැත්තන්' යන නාමයෙනි. 'වැදි' යන සිංහල වචනය පාලි භාෂාවෙන් 'ව්‍යාධ' හෙවත් 'විදින්නා' යන අර්ථයෙන් බිඳී ආවකි (සෝමසුන්දර( 2006, පිටුව 77,). ව්‍යාධ දෙවියා යනු දඩයක්‌කරුවාගේ දෙවියා ය. මේ අනුව වැද්දා යනු දඩයක්‌කරුවා යන අර්ථය ගෙන දෙයි. 'වැදි' යන්න 'වන චාරි' හෙවත් 'වනයේ හැසිරෙන්නා' යන අර්ථය ද ගෙන දෙයි. අතීත වැද්දා සතුන් හීලෑ කරගත් හෝ ශාක වගාකර ගත් හෝ නිවහන් තනාගත් පුද්ගලයෙකු නොවේ. මේ නිසා වැද්දා යනු 'ප්‍රාථමික මානවයා' යන අරුත ද ගෙන දෙයි.
වැද්දා හැඳින් වීම සඳහා පුලින්ද, සබර, නිශාද, වන සරණ, වනපස, වනදරු, මිලක්‌ඛ, කිරාත යන නාමයන් ද භාවිත වී තිබේ, දුන්නෙන් විද සතුන් මරණ නිසාත්, දුනු දරා සිටින නිසාත්, 'වැද්දා' යන්න ව්‍යාවහාර වූ බව පෙනීයයි.මෙම ප්‍රාථමික ජන කොටස වැද්දන් යනුවෙන් හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ පමණි. වෙනත් කිසිදු රටක වැද්දෝ නොමැත. අතීත වැද්දා සත්ව හා ශාක ගෘහස්‌ථකරණයෙහි යෙදුණු පුද්ගලයෙකු නොවේ. නිශ්චිත භූමි සීමාවක් තුළ පූර්ණ කාලීනව සතුන් දඩයම් කිරීමේ හා වන ද්‍රව්‍ය රැස්‌කිරීමේ යෙදුණු පිරිසකි. එසේ වුවද අද ජීවත් වන වැදි ජනයා ජීවන වෘත්තියක් ලෙස සතුන් දඩයම් කිරීම නොකරයි. බොහෝ දෙනා වන ද්‍රව්‍ය රැස්‌කිරීමටත්, ගොවිතැනටත්, හුරු වී සිටිති. වැද්දන් ඔවුනට ම ආවේනික වූ මානව ලක්‍ෂණ හා සංස්‌කෘතික ලක්‍ෂණ ඇති ජන කොට්‌ඨාසයකි. ශ්‍රී ලංකාවේ වැදි ජනයා පිළිබඳ පළමු වරට සවිස්‌තරාත්මක පර්යේෂණ අධ්‍යයනයක් සිදුකර ඇත්තේ වර්ෂ 1911 දී සී. ජී. සෙලිග්මාන් හා සිය බිරිඳ වූ බ්‍රෙන්ඩා ඉසඩ් සෙලිග්මාන් යුවළ විසිනි.
වැද්දන්ගේ ජීවන පැවැත්ම, පරිසරය හා සංස්‌කෘතික ලක්‍ෂණ අනුව ගල් වැද්දන්, මස් වැද්දන්, නිරි වැද්දන්, කල වැද්දන්, මූදු වැද්දන්, කෝවුල් වැද්දන්, ගම් වැද්දන් හා දෙමළ වැද්දන් යනුවෙන් වර්ගවාදීව වැදි ජනයා හඳුන්වතත් පොදුවේ ගත් කළ මොවුන්ගේ ඇත්තේ එකම ජීවන රටාවකි. ලෝකයේ ප්‍රාථමික මානවයන් හා සසඳන විට අතීතයේ දී වැද්දන් නිර්වස්‌ත්‍රව සිටින්නට ඇතැයි සිතිය හැකිය. පසුව කොළ අතු, හම්, පට්‌ටා වලින් විලි වසාගත් බවට සාහිත්‍ය මූලාශ්‍ර වල තොරතුරු හමුවේ. ගල්ඔය ව්‍යාපාරය නිසා යට වූ පෙදෙස් හි වැදි ජනයාගේ වාසය සඳහා අලුත් වැදි ජනාවාස දෙකක් පොල්ලෙබැද්ද හා රතුගල මේ වනවිට ඇරඹී තිබේ. වර්තමානයේ දඹාන හා ගුරුකුඹුර ප්‍රදේශවල සිටි වැදි ජනයාගෙන් වැඩි පිරිසක් මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ගිරාඳුරුකෝට්‌ටේ නව කොළණි ජනපද වල පදිංචි කරවා ඇත. වර්තමාන 'වැදිරට' ඌව බින්තැන්නට හා දිගා මඩුලු බින්තැන්නට අයත් සීමිත ප්‍රදේශයකට සීමා වුවද, අතීත ශ්‍රී ලංකාවේ වැදි ජනාවාස මෙයට වඩා විශාල ප්‍රදේශයක පැතිරී තිබුණු බවට බොහෝ සාධක තිබේ.ලාංකික වැද්දන් ගැන කරුණු සෙවූ සෙලිග්මාන්ගේ මතය අනුව වැදි භාෂාවේ ඇතැම් වචන සිංහල භාෂාව හා සම්බන්ධයක් නැති ඉන්දු ආර්ය භාෂාවක ආභාෂයෙන් ආ ඒවා බවයි. දොළොස් වන ශත වර්ෂයේ දී පවා වැද්දන් බලවත් ජන කොටසක් බවට පත්ව සිටි බව මහාවංසය සඳහන් කරයි.
එකල පළමුවන පරාක්‍රමබාහු රජුගේ යුද කාර්යයේදී වැදි සේනාවගේ සහාය ලබාගෙන ඇත. ඉන් පසු දාහත්වැනි ශත වර්ෂයේදී දෙවැනි රාජසිංහ රජතුමා යුද කටයුතුවලදී වැදි සේනාවන්ගේ සහාය ලබාගත් බව රොබට් නොක්‌ස් පවා සඳහන් කර ඇත. රොබට් නොක්‌ස් විසින් ලියන ලද "එදා හෙළ දිව" නමැති ග්‍රන්ථයෙහි වැද්දන් පිළිබඳ දීර්ඝ විස්‌තරයක් සඳහන් කොට ඇත. "මේ ජාතිය වූ කලී, වනචාරී මනුෂ්‍යයෝ ය, ශීලාචාර මනුෂ්‍යයෝ යෑයි දෙකොටසකට බෙදෙති. මේ දෙකොටස අතුරින් මා වාසය කෙළේ පසුව කී ශීලාචාර කොටස සමඟ ය. වනචාරී මනුෂ්‍යයෝ වනාහි වනයේ වාසය කරන සිවුපා සතුන් මෙන් ම වනචර ය. බිම් තැන්න නම් ප්‍රදේශ වූවන්ගෙන් ආකීර්න මහ කැලෑවෙන් වැසුණේ ය. පූර්වෝක්‌ත වනචාරී මනුෂ්‍යයෝ කැලෑවල වාසය කරති. ඔවුන්ගේ නාමය "වැද්දෝ" ය. වැද්දන් වෙසෙන වනගත ප්‍රදේශාසන්නයේ සෙසු කිසිවෙක් වාසය නොකරති. සිංහල භාෂාව කථා කරන ඔව්හු මුවන් මරා ගින්නේ ලා මස් වියළා ගනිති. ගම් වැසියෝ එම මස් මිල දී ගනිති. මේ වැද්දෝ කිසි විටෙක ගොවිතැන් නොකරන්නාහු දඩයමෙන් ම දිවි පෙවෙත රකිති. දුන්න අරඹා විදීමෙහි දක්‍ෂයන් වූ ඔව්හු මී වද කඩා ගැනීමට රුක් බෙණ සිදුරු කිරීම සඳහා කෙටි කෙටේරියක් පසෙක එල්ලා ගෙන සිටිති. මොවුන් හට නිවාස නැත. ගම් නැත. ජලාශ අසල හා ගස්‌යට වාසය කරති. සිව්පා සතෙකු ඔවුන්ගේ තුරු අසලින් පැමිණෙන විට ඒ බව ශබ්දයෙන් දැන ගැනීමට පුළුවන් වන පරිද්දෙන් ඔව්හු ගස් යට වියළි කොළ අතු බහා තබති. (රොබට් නොක්‌ස්)
ලී ආයුධ. සත්ව ඇට ආයුධ, ගල් ආයුධ, මැටි මෙවලම්, ලෙන් වාසස්‌ථාන හා ප්‍රාථමික නිවාස, අහරට ගන්නා දිය ගොඩ සතුන්, කෘමීන්, බෙල්ලන්, පක්‍ෂීන්, ශාක කොටස්, (අල. මුල්. කොළ. පොතු, දළු, ගෙඩි, ඇට, මද, කිරි) ඇඳුම්, අභිචාර විධි, රූ සටහන්, ශාන්ති කර්ම, ප්‍රජනනය හා වර්ගයා බෝ කිරීම, ශාරීරික සමානතා, පරිසර සබඳතා, සම අසමතා පෙන්වාදීම තුළින් දේශයට ම සුවිශේෂ වූ බළන්ගොඩ මානවයාගෙන් පැවත එන උරුම සම්බන්ධතාවක් වැදි ජනතාවට ඇති අතර වැදි ජනතාව නොකඩවා පරවේනී සංතතිව සිය උරුම අනන්‍යතාවය රැක ගැනීමට හැකි වූයේ වැද්දන් බුදු දහම වැළඳ නොගැනීමත්, අධ්‍යාපනය නොලැබීමත්, සමාජානුයෝජනයට හසුවීමට දැක්‌වූ අකමැත්තත්, ලේඛනයකින් තොරව වාචික භාෂාවක් පමණක් උපයෝගි කර ගනිමින් සිය අදහස් හුවමාරු කරගෙන දේශයේ වෙන් වූ වෙනම ගෝත්‍රික කණ්‌ඩායමක් ලෙස මේ දක්‌වා සිය අනන්‍යතාව ආරක්‍ෂා කරගෙන සරල ජීවන රටාවක් ගත කරන නිසා බව පැහැදිළිය.
No comments:
Post a Comment