රසවින්දනය.
සංගීතයෙහි ව්‍යවහාරික ප්‍රශාඛාව සේ ගැනෙන ගීතය වූ කලී මිනිසාගේ අපූර්ව නිමැවුම් මත භාෂාවේ සහ සංගීතයේ සමවායෙන් බිහි කර ගන්නා ලද කලාංගයකි- අනෙක් අතට ගීතය යනු ජෛවී සහ නජෛවී නාදයන්ගේ විධිමත් සංකලනයක් වශයෙන් හැඳින්වීමද යුක්ති යුක්තය-ගීතය පෝෂණය වනුයේ මිනිස් හඬිනි, මිනිසා විසින් පරිසර පද්ධතිය ඇසුරෙන් නිර්මාණය කර ගන්නා ලද හඬිනි- විශිෂ්ට ගිත නිර්මාණයක් යනු සෑම විටම මිනිස් හඬ සංගිත භාණ්ඩයක් ලෙසත් සංගිත භාණ්ඩය මිනිස් හඬ ලෙසත් අභිමුඛ වීම සඳහා තෙරපුමක් සපයා දෙන කලාත්මක ප්‍රකාශනයකි-ගීතය සංස්කෘතික අංගයක් ලෙස ශ්‍රී ලාංකික ජන මනස තුළ සැලකිය යුතු අවධානයක් යොමු කරවා ගැනීමට සමත්ව ඇත- මෙහි වන විශේෂත්වය නම් වඩා සෞන්දර්යාත්මක චින්තනයකට මුසු වෙමින් ඊට සරිලන ආකාරයේ රිද්මයක හා සුමියුරු සංගීත රටාවන් අනෙකුත් වින්දන මාධ්‍යයනට වඩා වෙනස් වූත් මනහර වූත් රසඥතා ආරක් මිනිස් මනසට හඳුන්වා දී්මයි-එසේ හෙයින් ආකෘති වල වෙනස්කම් වලින් යුතු වුවද ගීත වින්දනය තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතී- ගීත රචනයකදී ගිීත රචකයා විසින් නියෝජනය වනුයේ සමාජය තුළ ස්ථාපිතව ඇත්තා වූ පොදු ජන විඥානයයි-
ගීත රචනය සදහා වස්තු බිජ සපයා ගැනිමේදී වඩා සුලබව භාවිතා කෙරෙන වස්තු විෂයන් දැකිය හැකිය.ඉර, හඳ ,යෞවන ප්‍රේමය ,මව් ගුණය ,විරහව ඒ අතරින් කීපයකි- මීට අමතරව ලිංගිකත්වය යන වස්තු විෂයද අති බහුල ලෙස ගීත සාහිත්‍යය තුළ භාවිතා කර ඇත- සුභාවිත ගීත සාහිත්‍යය තුළ විවිධාකාරයේ දෘෂ්ඨිකෝණයන් වලින් ලිංගිකත්වය සෞන්දර්යාත්මකව ප්‍රතිනිර්මාණය කොට ඇත.වචනය සහ වාක්‍යය සඳහා සෞන්දර්යය මුසු කොට ඊට සමාන්තර රිද්මයකට අනුව හැඩගැන්වෙන ගීතය තුළ ලිංගිකත්වය යන භූමිකාව කේන්ද්‍ර කර ගනිමින් මඩවල එස් රත්නායක කිවිඳුන් විසින් රචනා කළ “මින්දද හී සර ”ගීතය කාව්‍ය පබැඳුමෙන් උසස් නිර්මාණයකි-
හෙළයේ මහා ගාන්ධර්වයාණන් වන පණ්ඩිත් අමරදේවයන්ගේ තනුවෙන් හා සුගායනයෙන් පෝෂිත මෙම ගීතය මෙරට ගීත ලෝලී සහෘදයන් බන්ධනය කොට ගත් ගීතයකි.වාච්‍යාර්ථයෙන් මෙන්ම ව්‍යංගාර්ථයෙන් ද කාව්‍ය පබැඳුමෙන් මෙහි මූලිකත්වය දී ඇත්තේ තරුණයෙකුගේ හදෙහි ඉපදී ඇති ප්‍රථම ප්‍රේමයත් ඇය කෙරෙහි ඔහු තුළ ඇති වන ලිංගික ආකර්ෂණයත් මනා ලෙස හුවා දැක්වීමටයි. සෞන්දර්යාත්මක මුහුණුවරකින් හදවත් සංකල්පනා විවර වන අයුරින් මෙහි පද රචනා වී ඇත.මෙය සිංහල සාහිත්‍යයේ ප්‍රේමණීයම ගීතයකි.ඉතා පැරණි වුවත් 21 වන සියවසේ රසිකයින් පවා ඉතා උනන්දුවෙන් තවමත් මෙය රස විඳින්නේ එය ශබ්ද රසයට පමණක් සීමා නොවී අර්ථ රසයෙන්ද පිරුණු ගී නිර්මාණයක් වන නිසාවෙනි.නූතන සමාජ ක්‍රමය තුළ සමාජ ජාල මාධ්‍ය තුළ රාමු ගත වී සිටින සමාජයට වඩා ඒවා නොමැති යුගයේ ප්‍රේමය හා බැඳුණු ලිංගිකත්වය කෙතරම් සුන්දරද යන බව පද්‍ය සංකල්පනාවෙන් විද්‍යමාන වේ.
ප්‍රථම ප්‍රේමය තුළ ප්‍රේමණීය සිතුවිලි සන්තර්පනය වන්නේ කෙතරම් සොඳුරු හැඟීම් ජනිත කරවමින් ද? ඒ බව ගී්තයේ අපූරු මියුරු නාද සිත්තම් මැවුමෙන් අවලෝකනය වේ.ගීතයෙන් කියවෙන්නේ අහිංසක යෞවනයෙකුගේ හද තුළ උපන් ගැමි පෙමකි.
“ මින්දද හීසර වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ”
මෙහි ගම්‍යමාන වන මතුපිට අර්ථය චිත්තාකර්ෂණීය වේ. තරුණයෙකුගේ හදෙහි ඉපදී ඇති ආලය කවියා මෙසේ පවසයි.මල් සරාගේ ප්‍රේමණිය හී පහර ප්‍රේමවන්තයාගේ හද හරහා ගොසිනි.දැන් හද සැලෙන්නේ පෙර පරිදි නොවේ.ප්‍රේමණීය රිද්මයකටය.නමුත් ඔහු ඇයව පෙර හමුවී නොමැත.ඒ නිසා හද සැලෙන රාවය මඳක් දුක්බර ගීතයක තනුවකට හැඬවේ. මගේ සයනය ඔබ වෙනුවෙන්ම චන්දන මලින් සරසා අලංකාර කර ඇත.කන්ද උඩින් පුන්සඳ පායා වටපිටාව රන්වන් ආලෝකයේ ගිල්වන්නාක් මෙන් මගේ අඳුරු ලොවට ඔබ පැමිණ රන්වන් පැහැයෙන් බබළන ඔබේ රූපයෙන් මගේ ලෝකයද එළිය කරනු මැන,.ගීතයේ වාච්‍යාර්ථය මෙන්ම ව්‍යංගාර්ථයද ඉතා රසවත් වේ.පෙරදිග කවියා අනංග සංකල්පය කාව්‍ය රසය සඳහා මැනවින් උපයුක්ත කරගෙන ඇත.අනංගයාගේ හී සර යෞවනයින්ගේ අනුරාගී අදහස් වඩවයි.සිය පෙම්වතියගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබෙන තුරු පූර්වානුරාගාත්මක විප්‍රලම්බයකින් ඔහු පෙළෙන බව මොනවට පැහැදිලි වේ. ඔහුගේ සයනය ඇය වෙනුවෙන්ම චන්දන මලින් සැරසී ඇත්තේද අතිශය ශෘංගාරාත්මක බවක් හඟවමිනි.යෞවනයා තුළ ඇය හා යහන් ගත වීමට ඇති අභිලාෂත්වය සංකල්ප ගෝචර අලංකාර භාවිතයෙන් අපූර්ව ලෙස ඉදිරිපත් කර ඇත.සිය යහනට ආරාධනා කරන පෙම්වතිය සඳකට සමාන කරවීම තුළ අව්‍යාජ ප්‍රේමය මනාව සිත් ගැනේ.එමෙන්ම අව්‍යාජ ප්‍රේමය යටින් දිව යන රාගය පෙම්වතාගේ ආධ්‍යාත්මික සුවයට හේතු වේ.ප්‍රේමය ලිංගිකත්වයම නොවන්නකි.එහෙත් ජීව විද්‍යාත්මකව ආදරයක පදනම එය විය නොහැකිද? “ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි ” නම් වුවද එවන් නිරාමිස ප්‍රේමයක් සැබැවින්ම පවතින්නේද? නමුත් ප්‍රේමය වූ කලී සම්පූර්ණයෙන්ම ලිංගිකත්වයෙන් වියුක්ත වූවක් බව පිළිගත නොහැක. පෙරදිග කලාපයේ ස්ත්‍රී පුරුෂ ආලය තුළ කාලයේ ඇවෑමෙන් ඔවුනොවුන් ආධ්‍යාත්මය හඳුනා ගනී.රාගය නිසාම ආධ්‍යාත්මික ගනුදෙනුවද ප්‍රබල වේ.උක්ත කවියා ඒ බව මනාව විස්තීරනය කර ඇත.
ගීත ගෝවින්දය ,සැළලිහිණි සන්දේශය වැනි සාහිත්‍ය කෘති තුළද ඉහත ආකාරයෙන් ලිංගිකත්වය මනාව කාව්‍යයට නැඟී ඇත.එහිදී ද කාව්‍යාලංකාර භාවිතයෙන් පෙම්වතාට සයනය වෙත කෙරෙන ආරාධනා අපූර්ව ලෙස උපමාවාචිව අවලෝකනය කර ඇත.
“උදුල සොමි කැලුම් නිසයුරු මිණි පුවල
පහල වන බැවින් තම වෙත නිසඹු දොල
උදුල ගුවන් තල සිරියහන් නිකසල
අතුළ කුසුම් විලසින් සැදි තරු වැලය”
සැළලිහිණි සන්දේශයෙහි සඳහන් ඉහත කවිය තුළ දක්නට ඇත්තේද උක්ත ගීතය හා සමාන අදහසකි.රාත්‍රිය නැමති අංගනාව චන්ද්‍රයා නැමති ස්වාමියා තම අහස නැමති සයනයට එන නිසා සතුට ප්‍රකාශ කිරීමට අහස නැමති සයනයේ ඇතිරූ මල් වැනි තරු පෙළකි.
කෙසේ නමුත් ගීතයේ සඳහන් ආකාරයට යෞවනයා සිය පෙම්වතියගේ පැමිණීම අභිලාෂ කොටගත් බවක් හා ඇය හා ලිංගිකව එක් වීමට අපේක්ෂා සහගතව සිටින බවක් පෙනේ. ඒ අනුව ලිංගිකත්වය වනාහි මිනිස් සිත් සතන්හි පවත්නා මානුෂීය ධර්මතාවයක් වන බවද ගම්‍යමාන වේ.
“ තුරඟෙකු පිට නැඟි නීල වළාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ
පිබිදුනු දෑසින් බලා හිඳිමි මම
කුසුම් සිනා කැන් හද පුරවාගෙන ”
ඉතා අලංකාර ලෙස සැරසූ අශ්වයෙකුගේ පිට නැඟි වළාකුළු අතරින් ඔබ ඇදී එන කල පියවා ගත නොහැකි වූ දෑසින් ඔබ දෙස මා බලා සිටින්නේ පිබිදී ආ මලක් වන් වූ ප්‍රේමණීය සිනාවකින් හදවත පුරවාගෙනය.මෙහිදී ව්‍යංගාර්ථවත් ලෙස වක්‍රෝක්ති භාවිතයෙන් තරුණයාගේ හද තුළ තරුණිය කෙරෙහි ඇයගේ ප්‍රේමය කෙරෙහි ඇති වී ඇති උද්වේගකර හැඟීම ගම්‍යමාන වේ.පිබිදුනු දෑසින් බලා හිඳීම තුළ යෞවනයා හා යෞවනිය අතර ඇති දුරස්ථභාවයක්ද ගම්‍යමාන වේ. මෙහිදී තව දුරටත් ඔහු විදහා දක්වන්නේ නීල වළාකුළු වන් සළුපිළි වලින් සැරසී ඇදෙන සොඳුරිය දඟකාර තැනැත්තියක් බවයි.ශ්‍රාවකයාගේ සිත් සතන් අල්පමාත්‍රයකුදු ඉවත නොහෙලා කවියා වර්ණනයට ලක් කරන්නේ එලෙසිනි.ලිංගික ආකර්ෂණය වූ කලී සාහිත්‍යකරුවන් ප්‍රතිභාපූර්ණ ලෙස සාහිත්‍ය නිර්මාණ වලට යොදා ගන්නා ධර්මතාවක් බව ගීතය අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වේ.යෞවන ප්‍රේමය තුළ සිය යෞවනිය කෙරෙහි දක්වන පළමු ආකර්ෂණය තරම් වටින දෙයක් යෞවනයෙකුට තවත් නැති තරම්ය. ප්‍රේමය හා ලිංගිකත්වය ගීතය ට නැඟීම පහසු කාර්යයක් වුවද ශ්‍රාවකයා තුළ ප්‍රේමණීය හැඟුම් ජනිත වන ආකාරයෙන් ලිංගික මාත්සර්්‍ය, ශෘංගාර රසය ගෙන ඒම පහසු කාර්යයක් නොවේ.එහෙත් මෙම පැදි පෙළ තුළ ප්‍රේමාන්විත කාව්‍ය රසය උපමා .රූපක වැනි කාව්‍යාලංකාර භාවිතයෙන් මනා ලෙස විවරණය කර ඇත.
“මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා
නෙත් මිණි පහනින් පහන් කරනු මැන
අනාගතේ මංපෙත සාදා”
මෙතුවක් කල් දුකින් පිරි අඳුරු ජීවිතයක් ගෙවූ ඔහු අද දින ඉතා ප්‍රීතියට පත්ව ඇත.අන්ධකාරයෙන් පිරි ඔහුගේ ජීවිතයට ආලෝකයක් වන්නට ඔහු ආයාචනා කරයි.මෙහිදී කවියා
“අන්ධකාර සළු පටින් මුදා” යනුවෙන් වක්‍රෝක්ති දැනවීම තුළම ශෘංගාර රසයක් මතු වේ.ස්ත්‍රීයකගේ සළුපිළි මුදා හැරීම තුළින් මෙහිදී සංකේතවත් කරනුයේ ආලෝකය උදා වීමයි.එහෙත් ශ්‍රාවකයාට ඇසූ පමණින් ගම්‍යමාන වන්නේ සළුපිළි වලින් තොර ආකර්ෂණීය ස්ත්‍රි රුවකි.ආකර්ෂණීය බැල්ම සහිත මිණි මුතු සේ බබළන නෙත් යුවලකි.ස්ත්‍රීි රූපයක් මැවීම තුළම ශෘංගාර රසය මතු වේ.“අඳුර” බොහෝ සාහිත්‍ය නිර්මාණ වලට යොදා ගන්නා සංකේතයකි. විශේෂයෙන් ලිංගිකත්වය තුළ බහුලව යොදා ගැනේ.
“අඳුර අපේ දුක නිවාවි - අඳුර තමයි එළිය දුන්නේ
අඳුරු රෙද්ද පෙරව ගන්න - එකට වැටී නිදාගන්න”
ලිංගිකත්වය ප්‍රේමයම නොවුනද එසේ පැවසීම තුළද අමුතුම ආස්වාදයක් ගැබ් වී ඇත.ඉහත ගීත ඛණ්ඩය තුළ පරිසරය අදාළ කරගත් සංකේත සමුදායක් දැක ගත හැක.එම සංකේත සමුදාය තුළින් ලිංගික හැඟීම් පුබුදුවයි.අනුරාගී සංකල්පනාවන් මවයි.එය උසස් නිර්මාණයක අන්තර්ගත සාර්ථක ලක්ෂණයකි.සිය අව්‍යාජ නිකැළැල් ප්‍රේමය හමුවේ පෙම්වතිය සමඟින් එක්ව ඉදිරි අනාගතය කරා පිය මැනීමට ඔහු අභිලාෂයෙන් පසු වේ.ඒ තුළ ප්‍රතිවිරුද්ධ ලිංගික ආකර්ෂණය කෙරෙහි දක්වන ඇල්මද ප්‍රධාන වේ.කවියා එය කාව්‍යාලංකාර භාවිතයෙන්, කලා භාවිතයෙන්, අර්ථසාර පණිවුඩයක් සමාජයට ලබා දීමේ අරමුණින් ඉදිරිපත් කරන නිර්මාණවේශය ඉතා අපූරුය.
කෙසේ වෙතත් අභිලාෂය හා රාගය මුසු කර ගනිමින් ශෘංගාර රසය මවමින් සංකල්ප ගෝචර ස්පර්ශ කර ගත් අපූරු නිර්මාණයක් ලෙස මෙය අගය කළ හැකිය.සමාජයේ පවත්නා යථාර්ථය මැනවින් ග්‍රහණය කර ගත් අතිශය ශෘංගාරාත්මක නිර්මාණයක් ලෙස හැඳින්විය හැකිය.අර්ථ සෞන්දර්යය මෙන්ම ශබ්ද මාධුර්්‍යයෙන්ද සංගීත සමවායෙන්ද උසස් නිර්මාණයකි.ලිංගිකත්වය විනෝදයට ලක්වන මෙම යුගයට වඩා එකල කවියා එය දුටුවේ උත්ප්‍රේක්ෂාවෙනි.අසංවිධිත බවකින් යුක්ත සැබෑ ජීවිතය තුළ පෙම්වතුන් අතර ඇතිවන්නා වූ ලිංගික ආකර්ෂණයන් සංවිධිත ස්වරයෙන් යුතුව සහෘද ජනයා හමුවේ තැබීමෙහිලා සැබවින්ම මෙවැනි ගීත අතළොස්ස තුළින් සිදුවන මෙහෙවර සුළුපටු නොවේ.
No comments:
Post a Comment