Friday, July 13, 2018


                                                 අසිරිමත් යාපහුව
       
             යාපහුව රාජධානිය සීගිරිය මෙන් පර්වතයක් කැටි කොටගෙන දිය අඟල් පවුරු වලින් වට කොට තැනූ බලකොටුවක් වූ අතර යාපහුව බලකොටුවක් ලෙස වැදගත්කමින් දෙවැනි වූයේ සීගිරියට පමණක් බව මහාචාර්ය සෙනරත් පරණවිතානයෝ පවසති. රජ මාලිගය පිහිටියේ  පර්වත මුදුනේය. පර්වතයට පිවිසෙන පියගැට පේළි සහිත ප්‍රධාන මාර්ගය පිහිටා තිබුණේ පියගැට පංතිය ඔස්සේය. එම පිය ගැට පෙළ ඉහළ කෙළවර වූයේ කැටයම්වලින් අලංකාර කළ අභිමානවත් මණ්ඩපයකිනි. පර්වතයේ දකුණු පසින් ප්‍රාකාරයකින් වට කළ ආරක්ෂිත බිමකි. ඇතුළු නගරයේ  සේ සැළකිය හැකි කොටසේ ගොඩනැගිලි කිහිපයක නටඹුන් දක්නට ලැබෙන අතර පවුරකින් වට කළ මෙම කොටස් තුලට ඒම සඳහා දොරටු දෙකක් විය. ගල් ප්‍රාකාරයට පිටතින් දිය අගලක් විය. ඇතුළු නගරය සේ සැලකිය හැකි පවුරකින් වට කළ මේ භූමියට පිටතින් පිට නගරය පිහිටියේය. පිට නගරය වටා පසින් තැනූ ප්‍රාකාරයක් ද ඊට යාව පවුර සමග ගමන් ගන්නා දිය අගලක් ද විය. ඇතුළු නගරයේ සහ පිට නගරයේ සීමා ලෙස මෙසේ පවුරක් හා දිය අගලක් බැගින් තනා තිබීමත් මාලිගය පර්වතය මත පිහිටා තිබීමත් නිසා පෙනී යන්නේ නගරයේ  ආරක්ෂාව සලසා ගැනීම ඉතාමත් වැදගත් කොට සලකන ලද බවයි. පොලොන්නරු අවධියෙන් පසු නිතරව විදේශ ආක්‍රමණ වලට මුහුණ දීමට සිදුවීම නිසා ආරක්ෂාවට මුල්තැන සැලසෙන පරිදි යාපහුව තනන්නට ඇති බව මේ අනුව  පෙනී යයි. නගරයේ පමණක් නොව නගරය පිහිටි විශාල ප්‍රදේශයේ ද ආරක්ෂාව මැනවින් තහවුරු කර තිබු බව පෙනේ. මේ පිළිබඳව එක් සාධකයක් නම් යාපහුවට නප කිහිපයක් වයඹ දෙසට වන්නට මෙකල කයිකාවල නමින් හදුන්වන ගම්මානයයි. කයිකාවල යන වචනයේ තේරුම රැකවල් ලා සිටි ස්ථානය යන්නයි. යාපහුව රාජධානියේ මුලින්ම අපගේ නෙත් සිත් ඇද ගන්නේ විසිතුරු පියගැට පංතිය හා මණ්ඩපයයි. යාපහුව නගරයේ ඇති අලංකාරම ගොඩනැගිල්ල වනවා පමණක් නොව දිවයිනේ ඇති අලංකාරම ගොඩනැගිලි අතරින්  එකක් ලෙසද මෙය සැලකේ. දීර්ඝ දුරක් සහ උසකින්  මෙම පියගැට පෙළ සමන්විතය. සීග්‍ර බෑවුමක් තරණය කිරීමට මෙම පියගැට පෙළ යෙදී තිබූ බැවින් ද එම පියගැටපෙළ ඔස්සේ යන ගමන ඉතා වෙහෙසකර එකක් වූ බැවින්ද එක එල්ලේ නොනැවතී යන ආකාරයට පැරැන්නන් පියගැටපෙළ සැලසුම් කළේ නැත. පියගැටපෙළ තැනුවේ කොටස් තුනකටය. පියගැට පේළි තුනේ එක් එක් නැගුම අවසානයේ විවේක ගැනීම සඳහා තැනුවේ යැයි සිතිය හැකි තැනිතලාවක් බැගින් නිර්මාණය කරන ලදී.  




අලංකාර පියගැට පෙළ කෙළවර වනුයේ ගලින්ම නෙළන ලද අලංකාර මණ්ඩපයකිනි.පියගැට පෙළ නැගී පසු මණ්ඩපයට පිවිසි විට ඉදිරියෙන් හමුවන සමතලා භූමියේ ආයත චතුරස්‍රකාර හැඩයේ ගොඩනැගිල්ලක් වේ.මෙම ගොඩනැගිල්ල ගඩොල් බිත්ති වලින් තනා ඇති අතර එහි මණ්ඩපය කාමර කිහිපයකට වෙන් කර තිබේ.මෙම ගොඩනැගිල්ල දළදා මාළිගය බව ඇතැමුන්ගේ විශ්වාසයයි.මෙම පියගැට පෙළ ඔස්සේ ගල මතට පිවිසි පසු නටඹුන් රැසක් දක්නට හැකි වේ.



පර්වතය මත හඳුනාගත හැකි එක් ගොඩනැගිල්ලක් නම් මහනුවර අවධියේදී තනන ලදැයි පෙනීයන කුඩා දාගැබයි.හැඩයෙන් ඝණ්ඩාකාර වූ මේ දාගැබ තනා ඇත්තේ හතරැස් මළුවක් මතය.ඕනැකමින් අලංකාර ලෙසත් ගෞරවාන්විත ලෙසත් තනන ලද්දක් නිසා මෙම ගොඩනැගිල්ල යාපහුවේ දළඳා වහන්සේ  හා පාත්‍ර ධාතූන් වහන්සේ තැන්පත් කර තිබූ දළඳා මන්දිරය බවට සිතීම වරදක් නොවේ. මීට  අමතරව ලෙන් විහාරය,සංඝාරාමය,බෝධිඝරය යනාදියෙන්ද සමන්විත මෙම රාජධානියේ අභිත ශ්‍රී විභූතිය තවමත් රැඳී පවතින බව  පසක් වන්නේ එහි සුන්දරත්වය නෙත ගැටුනු පසුවය.



No comments:

Post a Comment