Wednesday, July 11, 2018



                             ජනප්‍රිය සංස්කෘතිය පොදු ජනතාවගේ කලාවක්


   ලෝකය පුරා සන්නිවේදන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් විද්‍යාත්මක දෘෂ්ඨියකින් ඉස්මතු වී තිබේ. මානව විද්‍යාත්මක දෘෂ්ටියකින් බලන කල ජනප්‍රිය සංස්කෘතිය මානව ඉතිහාසය තරම්ම පැරණිය. සන්නිවේදනයේ විනෝදාස්වාදය ිනැමති අරමුණ පදනම් කරගෙන ජනප්‍රිය සංස්කෘතිය ව්‍යවහාරයට පැමිණ ඇත. ජනමාධ්‍ය නිර්මාණය සම්මත ක්‍රමවේදයන් ඔස්සේ කරනු වෙනුවට අසම්මත ක්‍රමවේදයන් ඔස්සේ විකාශනය වී තිබේ. එහි අභිප්‍රාය වී ඇත්තේ මනමෝහනීය ලෙස ජනතාව වඩාත් සමීප වීමයි. නූතන ජනමාධ්‍යය සංස්කෘතියේ ආකෘතිය සැකසී තිබෙන්නේ  ජනප්‍රිය සංස්කෘතිකාංග මූලික කරගෙනය. එය ප්‍රචාරකවාදී ලෙසත් වාණිජවාදී ලෙසත් විරෝධාකල්ප මුහුණවරකිනුත්, අනුකරණාත්මක ස්වභාවයකිනුත් හැසිරෙනු දැකිය හැකිය. සංස්කෘතියේම දැකිය හැකි නව ප්‍රවණතාවක් ලෙස ජනප්‍රිය සංස්කෘතිය හැඳින්වීම නිවැරදි වේ. ඒ පිළිබඳ අවබෝධ කර ගත හැක්කේ සංස්කෘතික සංකල්පයේ මූලිකාංග හා ඒවායේ ස්වභාවයද නිවැරදිව අවබෝධ කර ගැනීමෙනි. 
   ජනප්‍රිය සංස්කෘතියේ ලක්ෂණ ලෙස පැරණි සන්නිවේදන මාධයය තුළ හා නූතන මාධ්‍යය තුළ දැකිය  හැක්කේ ත්‍රාසය, සංත්‍රාසය, හාස්‍යය, ලිංගිකත්වය, වීරත්වය, අධිමානව බලවේග, වර්ණය, සරල බස් වහර, හා රිද්මය වැනි අංගයි. ග්‍රාහකයා මෝහනයට පත් කිරීම හා ඔවුන්ට සමීපවීමේ උපක්‍රමයක් ලෙස නිර්මාණශීලී සන්නිවේදකයන් ජනප්‍රිය සංස්කෘතිකාංග යොදාගනී. මේ සංකල්ප නිර්මාණාත්මක සන්නිවේදනයේදී බැහැර කළ නොහැකිය. ඊට හේතුව බහුජන පදනම  සහ වාණිජමය පදනම ඒ මත රඳා පැවතීමයි. මේ සංස්කෘතිය තුළ ජාතික, සංස්කෘතික, වාර්ගික සීමා බන්ධන ඉක්මවා යන ස්වභාවයක් දෘශ්‍යමාන වේ. එම නිසා එය විශ්ව ව්‍යාප්ත  සංස්කෘතියක් ලෙස භාවිත කළ හැකි අතර සාර සන්නිවේදන සංකල්පය යොදා ගැනීමේදී යහපත් සමාජ සන්නිවේදනයක් සඳහා උපයෝගී කර ගැනී යෝග්‍ය වේ. 
ජනප්‍රිය සංස්කෘතිය යනු සීමිත පංතියකට පමණක් සීමා වූ දෙයක් නොවේ. එය බහුතර ජනතාවක් රසවිඳින ජීවිතයට හා පැවැත්මට බලපාන සහ ගෝචර වන ඕනෑම දෙයක් විය හැකිය. උදාහරණ ලෙස ක්‍රිකට්, නව විලාසිතා, නව සංගීත රටා, තාක්ෂණික ප්‍රමිතීන්, පුද්ගල චර්යාවන් වැනි දෑ සඳහන් කළ හැකිය. මෙම තත්ත්වය කලාව කේන්ද්‍රකොට ගත්තක් පමණක් නොවේ. එය සමාජ මානව විද්‍යාත්මක ප්‍රවණතාවක් ලෙසද හඳුනාගත හැකිය.  ජනප්‍රිය සංස්කෘතිය පොදු ජනතාවගේ කලාවක් බවට පත්වූයේ සමානව කලාකරුවන්ගේ දක්ෂතාවයන් ඇගයීමට ලක් නොකිරීම හේතුවෙනි. කලාකරුවන් ලෙසත් සම්භාව්‍ය කලාකරුවන් ලෙසත් තමන්ගේ නිර්මාණ උසස් මට්ටමෙහිලා සැලකීමට මෙරට විද්වත් පිරිස් පෙළඹුණහ. මෙම තත්ත්වය ප්‍රබුද්ධ නොවූ කලාකරුවා සහ තරුණයා දුරස් කර තැබීමට හේතු වූ බව විචාරක මතයයි. විදග්ධ කලාව තුළින් සමානව කලාකරුවා පසෙකට තල්ලු වීම නිසා ඔවුන්ට ආවේණික කලාවන් හා සංස්කෘතීන් බිහිවිය. එමෙන්ම පොදු ජනතාව අතරින් මතු වූ කලාකරුවාට ජනමාධ්‍ය තුළ ඉඩකඩ සීමිත විය. මෙබඳු ප්‍රවණතාවන් නිසා ජනප්‍රිය සංස්කෘතිය යන්න කලාව ඇසුරු කර ගනිමින් නිර්මාණය වූ සමාජ රිද්මය බවට තරුණ සමාජය අතර ප්‍රකට විය.                 ජනප්‍රිය සංස්කෘතිය විසින් නිර්මාණය කරන ප්‍රතිරූප චර්යාවන් හා භාණ්ඩාදිය පුද්ගල මනසට සම්බන්ධ වන්නේ විශ්වාසනීයත්වය මතයි. විශ්වාසනීයත්වය තීරණය විය යුත්තේ ජනප්‍රිය සංස්කෘතික නිෂ්පාදන යන්නේ යථා ස්වභාවය අනුවයි. 
          වත්මන් ලෝකයේ ජනප්‍රිය සංස්කෘතික චර්යාවන් ව්‍යාප්ත වී තිබේ. ඒවා වටා බිහිවෙන ජනප්‍රිය අංගයන් මිනිසා මිලදී ගන්නා දේ ඇදහිලි, විශ්වාස,සිතන දේ ඔස්සේ ව්‍යාප්ත වී ඇති සේයාවක් දැකිය හැකිය. මේ අනුව බැලු කල සම්ප්‍රදායන්, සම්ප්‍රදාය තුළ ඇති ජනප්‍රිය සංස්කෘතියත්, නූතනයේ ඇති ජනප්‍රිය සංස්කෘතියත් සමස්ත සමාජයම හා සමස්ත කලාවම නියෝජනය කරයි. 
         ඒ අනුව බටහිර අනුකරණය ජනප්‍රිය සංස්කෘතිය තුළ දක්නට ඇති එක් කලායුගයක් ලෙස පොදුවේ හඳුනාගත හැකිය. බටහිර පුද්ගල චරිත, වෙළෙඳ භාණ්ඩ,  විලාසිතා, නව නිපැයුම් ජනප්‍රිය සංස්කෘතික ගමන් මඟ වෙනස් කිරීමට සමත්ව ඇත. උදාහරණ ලෙස මයිකල් ජැක්සන්, ජස්ටින් බීබර්, ඩයනා, බොබ් මාර්ලි, ජෝන් සීනා වැනි පුද්ගල චරිත ඒ අතර ප්‍රධාන වේ. 

No comments:

Post a Comment